බදාදා, 13 මාර්තු 2024 08:21

ඉන්දීය පාතාල නායකයා පොලිස් රැකවල් මැද විවාහ වෙයි Featured

මනාලියත් නමගිය අපරාධකාරි­‍යක්

විවාහයෙන් පසු මනාලයා යළි සිර ගෙට

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ මිනිමැරුම්, පැහැරගෙන යෑම් සහ කප්පම් ගැනීම් ඇතුළු චෝදනා රැසකට නවදිල්ලි නුවර තිහාර් බන්ධනාගාරයේ සිරගතව සිටි එරට ප්‍රබල පාතාල කල්ලි නායකයකු දැඩි පොලිස් ආරක්ෂාව මැද ඊයේ විවාහ වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. සන්දීප් නොහොත් කාල ජිතේඩි නැමැති මේ අපරාධකරුට සිය විවාහය සඳහා නවදිල්ලි අධිකරණයකින් උදෑසන 10 සිට පස්වරු 4 දක්වා තාවකාලික නිදහසක් ලබා දී තිබූ බව ද වාර්තා වේ. ඔහු අධි ආරක්ෂාව යටතේ බන්ධනාගාරයේ සිට උත්සවශාලාව වෙත රැගෙන එනු ලැබු අතර, ඔහුගේ මනාලිය වූයේ අපරාධ චෝදනා රැසකට සිරගත වී සිට පසුව ඇප මත මුදා හරිනු ලැබූ අනුරාධා චවුද්රි නොහොත් මැඩම් මිනිස් නමැති කාන්තාවක් බව ද වාර්තා වේ.

කාල ජිතේඩිගේ නීතිඥවරයා ඉන්දීය රුපියල් 51,000ක් ගෙවා එම විවාහ උත්සවය වෙනුවෙන් නවදිල්ලි නුවර සන්තෝෂ් නමැති උත්සවශාලාවක් වෙන් කර තිබු බවත්, තවත් අපරාධ කල්ලියක් සමඟ ගැටුමක් ඇති කරගැනීම සහ කාල ජිතේඩි අත්අඩංගුවෙන් මිදී පැනයෑම වැළැක්වීම සඳහා පොලිසියේ 250කට වැඩි පිරිසකගෙන් යුතුව අධි ආරක්ෂාවක් යොදා තිබූ බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. දිල්ලි පොලිසියේ විශේෂ කණ්ඩායම් සහ අපරාධ අංශයේ කණ්ඩායම් කිහිපයක් ආයුධ සන්නද්ධව උත්සව ශාලාව අවට රැකවල් යොදා තිබේ. ඒ සඳහා අධි තාක්ෂණයෙන් යුතු ආයුධ අතැතිව කමාන්ඩෝ බළකායේ නිලධාරීන් ද, පොලිස් සුනඛයන් ද යොදවා තිබූ බව වැඩිදුරටත් වාර්තා වේ. මීට අමතරව සීසීටීවී කැමරා විශාල ප්‍රමාණයක් සවි කර තිබු බවත්, ඩ්‍රෝන මඟින් විවාහ උත්සවයේ සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණය කරමින් තිබූ බවත් වාර්තා වේ.

එම විවාහ උත්සවය සඳහා ආරාධිතයන් 250කට ඇරියුම් කර ඇති අතර, සියලු ආරාධිතයන් පරීක්ෂාවට ලක් කිරීමට සහ උත්සවයට එක් වී සිටි වේටර්වරුන්ට වෙනම හැඳුනුම්පත් නිකුත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website