මේ ප්‍රහාරය එල්ල වූයේ පසුගිය සිකුරාදා රාත්‍රියේ මොස්කව් නුවර ‘ක්‍රොකස් සිටි හෝල්‘ ශාලාවේ පැවැත්වීමට නියමිතව තිබූ සංගීත ප්‍රසංගයක් නැරැඹීමට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසක් ඉලක්ක කරමිනි. ප්‍රසංග ශාලාවට එක්රැස් වී සිටි පිරිසට විවෘත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු පලා ගිය තුවක්කුකරුවන් සිව්දෙනා මොස්කව් නුවරට කිලෝමීටර් 340ක් දුරින් මාර්ග බාධකයකදී පසුව අත්අඩංගුවට පත්වූ අතර, ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කළ බව වාර්තා වේ. අත්අඩංගුවට පත් වූ ත්රස්තවාදීන් සිව්දෙනාට මූලික විමර්ශනය අතරතුර පහරදීමක් සිදුවී ඇති බවත්, එක් ත්‍රස්තවාදියකු අධිකරණයට රැගෙන එනු ලැබුවේ රෝද පුටුවක ආධාරයෙන් බවත් බීබීසී පුවත් සේවය වාර්තා කළේය. ඔවුන් මැයි මස 22 දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයේ අවසරය ලැබී ඇතැයි ද වාර්තා වේ.
මොස්කව් ප්‍රහාරයේ වගකීම අයිඑස් ත්‍රස්ත සංවිධානය භාර ගත් බවට නිවේදනයක් නිකුත් කර ඇතැයි ද, එම නිවේදනය රුසියාව මෙතෙක් පිළිගෙන නැතැයි ද බීබීසී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ක්රෙමලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් ඊයේ මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇත්තේ පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු ඒ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කිරිම සුදුසු නොවන බවය. වර්තමානය වන විට ලොව පුරා රටවල් රැසක් යුද ගැටුම්වලට මැදිවී සිටින බැවින් ත්රස්තවාදයට එරෙහිව ගෝලීය වශයෙන් එක්ව කටයුතු කිරීම ඉතා පහළ මට්ටමක පවතින බවත් ක්රෙමලීනයේ ප්‍රකාශකයා සඳහන් කර ඇතැයි වාර්තා වේ. මේ ප්‍රහාරයේදී ත්රස්තවාදීන් ප්‍රසංග ශාලාවට ද ගිනි තබා විනාශ කර තිබිණි.
DN