බදාදා, 17 අප්‍රේල් 2024 10:24

කෝටි 700ක දේපළ දන් දී ගුජරාට් යුවළක් ජෛන ආගමේ අධ්‍යාත්මික සුවය සොයා යති Featured

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කෝටිපති ව්‍යාපාරිකයකු වන භවේෂ් බන්දාරි සහ ඔහුගේ බිරිය අධ්‍යාත්මික දිවියට ඇතුළත් වීමේ අරමුණින් ඉන්දීය රුපියල් කෝටි 200කට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 700ක්) ආසන්න වටිනාකමකින් යුතු සිය ධනය හා සියලු දේපළ පරිත්‍යාග කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

ගුජරාට් ප්‍රාන්තයේ ඉදිකිරීම් සමාගමක හිමිකරුවකු වන බන්දාරි සහ ඔහුගේ බිරිය ජෛන ආගමේ උග්‍ර බැතිමතුන් වන අතර, ඔවුන්ගේ දරුවන් වූ 19 හැවිරිදි දියණිය සහ 16 හැවිරිදි පුතුණුවන් ද මීට වසර දෙකකට පෙර අධ්‍යාත්මික දිවියට ඇතුළු වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

බන්දාරි යුවළ පසුගිය පෙබරවාරියේ පැවැත්වූ චාම් උත්සවයකදී සිය දේපළ දන් දී ඇති අතර, ලබන 22 වැනිදා අතිසුඛෝපභෝගී සියලු සැප සම්පත් අත්හැර ජෛන ආගමානුකූලව අධ්‍යාත්මික දිවියට ඇතුළු වීමට නියමිත බව සඳහන් වේ. අනතුරුව ඔවුන් සුදුවතින් සැරසී දානයෙන් පමණක් දිවි ගෙවමින් ඉන්දියාව පුරා පාවහන් රහිතව ඇවිද යනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

පසුගිය වසරේදී ගුජරාට් ප්‍රාන්තයෙහිම දියමන්ති ව්‍යාපාරික කෝටිපති යුවළක් ද මේ අයුරින් සියලු සැප සම්පත් අත්හැර ආධ්‍යාත්මික දිවියට ඇතුළු වී ඇතැයි වාර්තා වේ. ඊට වසර 5කට පෙර ඔවුන්ගේ 12 හැවිරිදි පුත්‍රයා අධ්‍යාත්මික දිවියට ඇතුළු වී ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website