මැලේසියාවේ දකුණින් පිහිටි ජොහාර් ප්‍රාන්තයේ පොලිස් ස්ථානයකදී එරට ජෙමා ඉස්ලාමියා නමැති ත්‍රස්ත සංවිධානයකට අයත් බවට සැක කෙරෙන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයකින් නිලධාරින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයිද, තවත් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ උදෑසන එම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ වසර දෙකක් පැරැණි සිදුවීමක් සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බව කියමින් පුද්ගලයන් දෙදෙනකු පොලිස් ස්ථානයට පැමිණ මොහොතකට පසුව බව මැලේසියාවේ පොලිස්පති රසාරුඩීන් හුසේන් ප්‍රකාශ කර ඇත.
පැමිණිල්ල සම්බන්ධව පුද්ගලයන් දෙදෙනා පොලිස් නිලධාරියකු සමඟ කතා කරමින් සිටියදී එම පුද්ගලයා යතුරුපැදියකින් පැමිණ ඇති අතර, ඔහු අත මන්නයක් තිබූ බවත්, ඉදිරියට පැමිණි පොලිස් නිලධාරියාට ඔහු එම මන්නයෙන් පහර දී නිලධාරියාගේ රාජකාරි රිවෝල්වරය උදුරාගෙන දෙවැනි පොලිස් නිලධාරියාට වෙඩි තැබූ බවත් වාර්තා වේ. මන්න පහරින් තුවාල ලැබූ තවත් පොලිස් නිලධාරියකු තැබූ වෙඩි පහරකින් සැකකරු මිය ගොස් ඇතැයි ද මැලේසියාවේ පොලිස්පති ප්‍රකාශ කර තිබේ. ත්‍රස්ත ප්‍රහාරයක් සිදු කිරිම සඳහා අවිආයුධ පැහැර ගැනීමට සැකකරු පොලිසියට පැමිණි බවට විමර්ශන නිලධාරින් සැක කරන බව ද වාර්තා වේ. එම සිදුවීමෙන් පසු පොලිසිය ඊට මඳක් දුරකින් පිහිටි ඔහුගේ නිවෙස වටලා ඇති අතර, ජෙමා ඉස්ලාමියා සංවිධානයට අයත් පෝස්ටර් තොගයක් සොයා ගෙන ඇතැයි ද වාර්තා වේ. පසුව සැකකරුගේ පවුලේ සාමාජිකයන් 5 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද, පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පොලිස් ස්ථානයට පැමිණි පුද්ගලයන් දෙදෙනා ද රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව වැඩිදුරටත් වාර්තා වේ. මීට අමතරව එම සංවිධානයේ සාමාජිකයකු බව අනාවරණය වූ තවත් පුද්ගලයකු සිංගප්පූරු දේශසීමාව අසලදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
DMN