සදුදා, 15 ජූලි 2024 09:56

ට්‍රම්ප් නූලෙන් බේරෙයි Featured

අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදී පෙරේදා පස්වරුවේ මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් සිටි හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නාදුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයකින් සිය ජීවිතය නූලෙන් බේරා ගත්තේය. 78 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා සිය කතාව ආරම්භ කර මිනිත්තු 7ක් ගතවෙද්දී එම වෙඩි ප්‍රහාරය එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගිනියම් වූ උණ්ඩය ට්‍රම්ප්ගේ කන ළගින් පියාඹා යෑමත් සමග ඔහු සිය කන අල්ලාගෙන පහත් වන ආකාරයත්, අමෙරිකාවේ ජනාධිපතිවරු සහ ජනාධිපති අපේක්ෂකයන් ආරක්ෂා කිරීමේ බුද්ධි සේවාවේ නිලධාරීන් වහා පැන ඔහු බිම පෙරළාගෙන ආරක්ෂාව සැලසීමට කටයුතු කළ ආකාරයත් සාමාජ මාධ්‍යජාලා අතරට මුදාහළ වීඩියෝපටවල සටහන් වී තිබේ.

ට්‍රම්ප්ට වෙඩි තැබූ තුවක්කුකරු රැඳී සිට ඇත්තේ රැස්වීම පැවති ස්ථානයට නුදුරින් පිහිටි ගොඩනැඟිල්ලක වහලය මත බවත්, මිනිත්තුවක් ඇතුළත පොලිස් වෙඩි පහරින් ඔහු ජීවිතක්ෂයට පත් වූ බවත් වැඩිදුරටත් වාර්තා වේ. එම පුද්ගලයා පෙන්සිල්වේනියා ප්‍රාන්තයේම 20 හැවිරිදි තරුණයෙක් බව පසුව වාර්තා විය.

මේ වෙඩි ප්‍රහාරයෙන් රැස්වීමට පැමිණ සිටි පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර, තවත් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුවී ඇතැයි වාර්තා වේ.

වෙඩි තබා තමා නතර කළ නොහැකි බවත්, මේ අවස්ථාවේදී සියලු අමෙරිකානුවන් එකමුතු විය යුතු බවත් රෝහල කරා රැගෙන යමින් සිටියදී ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

මේ අතර සිය ප්‍රතිවාදී අපේක්ෂකයාට වෙඩි තැබීම හෙළා දකින බව රූපවාහිනි කැමරාව ඉදිරියේ පෙනී සිටි ජෝ බයිඩ්න් ජනාධිපතිවරයා සඳහන් කර ඇති අතර, ට්‍රම්ප්ට් එල්ල වූ වෙඩි ප්‍රහාරය ඝාතන තැතක් බව එරට බුද්ධි සේවා තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ෆවුස් මොහොමඩ්

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website