ආනයන අපනයනයටත් බාධා
ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන් 8000ක්
මැදපෙරදිග ලාංකිකයන්ගේ රැකියා ජීවිත අවදානමක
ඉරාන-ඊශ්‍රායල යුද්ධය ළඟදීම
හනියේගේ ඝාතනයෙන් පසු හිස්බුල්ලා අණදෙන නිලධාරියකු ඝාතනයට
මැද පෙරදිග යුද උණුසුම දැන් කෙමින් කෙමින් ඉහළ යමින් ඇත. මේ පිළිබඳ රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ වැඩිමනක් කතා බහට ලක්වෙන්නේ මින් පෙර සීතල යුද්ධයක් බවට පත්ව තිබූ ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම දැන් ඇවිලෙමින් ඇති නිසාය. අතිශයින්ම මෙම යුද්ධය ලංකාව වැනි මැද පෙරදිග රටවලින් විශාල විදේශ විනිමයක් උපයාගන්නා රටවලට සෘජුව බලපෑම් එල්ල කරන්නේය. එනම් මැදපෙරදිග යුද්ධය දැඩි වුවහොත් ශ්‍රී ලංකාව වැනි ස්ථාවර ආර්ථිකයක් නොමැති, යැපෙන රටකට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදීමට ඉදිරියේදී සිදුවෙනු නොඅනුමානය. දෙවන ලෝක යුද්ධයෙන් ලොව කිසිවකුටද අත්වූ ජයග්‍රහණයක් නොමැත්තේය. එම යුද්ධමය වාතාවරණයද අවසන් වී දශක කීපයක් සාමකාමී වාතාවරණයක් පැවතුනද රුසියා-යුක්රේන් යුද්ධය මෙන්ම ඊශ්‍රායල් – පලස්තීන යුද්ධය පැවතීමෙන් මේ වනවිට තුන්වන ලෝක යුද්ධයක පෙරනිමිති පහළ වී ඇත.
හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය වන්නේ ඉරානයේ ටෙහෙරාන් නුවර ඔහු නවාතැන් ගත් නිවෙසට රොකට් ප්‍රහාරයක් එල්ල වීමෙනි. ඒ පසුගිය 31 වැනිදාය. ඉන් පෙර දින (30දා) ඉරානයේ නව ජනාධිපති මසුඩ් පෙසෙශ්කියන්ගේ පදවි ප්‍රාප්ත උත්සවයට පැමිණ සිටි ඉස්මයිල් හනියේ එදිනම ඉරාන පාර්ලිමේන්තුවට ගොස් ඊටද සහභාගි වී ඇත. හනියේගේ ඝාතනයෙන් පසු ලෙබනනයේ බීරූට් නුවර හිස්බුල්ලා අණදෙන නිලධාරියකුද ඝාතනය විය. මේ පිළිබඳ ඊශ්‍රාලය පැත්තෙන් කියා සිටින්නේ ගෝලාන් කඳුකරයේ ඩෲස් තරුණයන් සහ දරුවන් 12 දෙනකු ඝාතනය කරමින් හිස්බුල්ලා සංවිධාන එල්ල කළ රොකට් ප්‍රහාරයට පළිගැනීමක් ලෙස මෙය සිදුකළ බවය. හනියේ ඝාතනය ඊශ්‍රායලය විසින් කළ බවට ඉරානයේ ස්ථාවරය වී ඇති අතර ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඊශ්‍රායලයට පහර දෙන්නැයි අණකර සිටීමෙන් මේවන විටද මැදපෙරදිග යුද ගිනි ඇවිළෙමින් පවතින්නේ ඉරානය හා ඊශ්‍රායලය අතර යුද්ධයකට අවතීර්ණය වෙමිනි.
ඊශ්‍රායලයෙන් හමාස් සංවිධානයට යුද ප්‍රකාශයක්
ඊශ්‍රායලය තමන්ගේ විදේශීය මෙහෙයුම් පිළිබඳ මාධ්‍ය වෙත සිය අදහස් පළකිරීමක් සම්ප්‍රාදයක් ලෙස නොකළද ඊශ්‍රායලය විසින් මීට කලකට පෙර දක්වා තිබුණේ පසුගිය ඔක්තෝබර් 07 දා ඊශ්‍රායල ජාතිකයන් සහ විදේශිකයන් 1200 ක් ඝාතනය කිරීමට අදාළ සියලු හමාස් නායකයන්ට දඬුවම් කරන බවය. හනියේ ඝාතනය කිරීමේදී ද ඊශ්‍රායල ජෙට් යානා ඉරාන ගුවන් සීමාවෙන් පිටත සිට රොකට් ප්‍රහාර එල්ල කර ඇති බවට තහවුරු වී ඇත.
මෙම ප්‍රහාරය සම්බන්ධව ලැබෙන තොරතුරු දිනෙන් දින අලුත් වන සැටියද පෙනෙන්නට ඇත. මෙම ප්‍රහාරය නිසා අනාගත දේශපාලන ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවෙන බවට විචාරකයන් පෙන්වාදී ඇත. එහි විශේෂතම සිදුවීම වන්නේ ගාසා තීරයේ සටන් විරාමයක් ඇතිකිරීමට ගන්නා උත්සාහයන්ට මෙයින් දැඩි තර්ජනයක් වන බවය.
ස්මයිල් හනියේ හමාස් සටන් කරුවෙක්ද
ඝාතනයට ලක්වූ ස්මයිල් හනියේ ගාසා තීරයේ මෙහෙයුම් භාරව සිටි නිලධාරියකු නොවන අතර ඔහු කටාර් රාජ්‍යයේ, එක්සත් ජනපදයේ සහ ඊජිප්තුවේ පැවැති බොහෝ සාකච්ඡා වලදී හමාස් ප්‍රධානියා ලෙස කටයුතු කොට ඇත. ඉන් සතියකට පෙර රෝමයේ පැවැති සටන් විරාම සාකච්ඡාවේදීද ඔහු සිටියේය. ස්මයිල් හනියේ සම්බන්ධව තවත් කියන්නට කාරණා බොහෝය. එනම් ඔහු හමාස් දේශපාලන කාර්යාංශයේ ප්‍රධානියා සහ දසවැනි පලස්තීන අධිකාරි ආණ්ඩුවේ අගමැතිවරයාද ලෙස හඳුන්වනු ලැබීය. අබු අල්-අබ්ද් යන අන්වර්ථ නාමය ඇති ඉස්මයිල් අබ්දෙල් සලාම් හනියේ උපත ලබන්නේ සරණාගත කඳවුරකය. 1989 වසරේදී ඊශ්‍රායලය විසින් වසර 03 කට ඔහු සිරගතකොට තබන අතර ඉන්පසු හමාස් රැසක් සමඟ ඊශ්‍රායලය හා ලෙබනනය අතර පිහිටා ඇති මඩුබිමක් වන මාජ් අල් සුහුර් වෙත පිටුවහල් කොට ඇත. ඔහු 1992 වසර පුරා අවිනිශ්චිත තත්ත්වයක් යටතේ එහි ගතකර ඇති අතර 1997 වසරේදී හමාස් සංවිධානයේ අධ්‍යාත්මික නායකයා ලෙස හැඳින්වෙන ෂෙයික් අහමඩ් යසින්ගේ කාර්යාලයේ ප්‍රධානියා ලෙස පත්කොට ඇත. සලාම් හනියේ පලස්තීන අධිකාරි අගමැති ලෙස නම්කරන්නේ 2006 පෙබරවාරි 16 දිනය. එම මසම 20දා ඔහු එම ධුරයට පත්කළේය. ඉන් වසරකට පසු පලස්තීන ජාතික අධිකාරියේ ජනාධිපති මහමුද් අබ්බාස් විසින් හානියා ඔහුගේ තනතුරින් නෙරපා හරිනු ලැබීය. එම නෙරපා හැරීම ව්‍යවස්ථා විරෝධී ලෙස හඳුන්වමින් ප්‍රතික්‍ෂේප කළ අතර පලස්තීන ජනතාව කෙරෙහි වන ජාතික වගකීම තමා අත්නොහරින බවද කියා සිටියේය. 2017 මැයි 6 දා ඔහු හමාස් දේශපාලන කාර්යාංශයේ ප්‍රධානියා ලෙස තේරීපත්විය. එවැනි තත්ත්වයක් පැවැතියදී ඔහු ඝාතනය වන්නේද මේ කියන සටන් විරාම සාකච්ඡාවලට සෘජු බලපෑමක් එල්ල කරන බව පැහැදිලි වෙමින්ය.
ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජයට සාමය ළඟාකර ගැනීමේ කිසිදු අදහසක් නැති බවද යළිත් වරක් හෙළිවී ඇත. හනියේගේ ඝාතනයෙන් පසු ලෙබනනයේ බීරුට් නුවර හිස්බුල්ලා අණදෙන නිලධාරියකුද ඝාතනය කෙරිණ. ලෙබනන් රාජ්‍යයේ හිස්බුල්ලා හා ගාසා තීරයේ සහ පලස්තීන බටහිර ඉවුරේ හමාස් සහ යේමනයේ හූති කැරලිකරුවන්ගේ ආරක්‍ෂිත වාසස්ථානය ඉරානය බවද හෙළිවී ඇත. හමාස් සංවිධානයේද ප්‍රමුඛ පෙළේ නායකයන් කිහිපදෙනකු ඇත. ගාසා තීරයේ පාලන බලය හිමි සටන්කාමීන් වන හමාස්හි නායකයින් බොහෝදෙනකු මාධ්‍ය ඉදිරියට එන්නේද මුහුණ ආවරණ දමාගෙනය. ඒ සෑම අවස්ථාවකදීම ඊශ්‍රායලයේ ඝාතන ප්‍රයත්නයන්ගෙන් ආරක්‍ෂා වීමට ඔවුන්ට සිදුවී ඇති හෙයිනි. පෙර කී නායකයන් අතර මොහොම්මද් ඩෙයිෆ් යනු හමාස්හි හමුදා අංශය වන ඉස් අල්-දීන් අල්-කසාම් බළකායේ නායකයායි. හමාස් සටන්කරුවන්ට ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට යෑමට හැදූ උමං මගේ ඉදිකරන සැලසුම ඩෙයිෆ්ගේ බවට වාර්තා ද පළවී ඇත. පලස්තීනුවන්ද ඔහු හඳුන්වන්නේ මහමොළකරුවා ලෙසය. ඊශ්‍රායල ජාතිකයන් ඔහු හැඳින්වූයේ මරණයේ මිනිසා යනුවෙනි. 1989 දී ඔහු ඊශ්‍රායල ආරක්‍ෂක අංශ අත්අඩංගුට පත්විය. මාස 16කට නොඅඩු කාලයක් රැඳවුම් භාරයේ සිටින ඔහු ඊශ්‍රායල භටයන් ග්‍රහණය කරගැනීමට හමාස් සංවිධානයෙන් වෙන්ව වෙනම ව්‍යාපාරයක් පිහිටුවීමට ඩෙයිෆ් සකාරියා අල්-ෂෝර්බාහි සහ සාලා ෂෙහාදේ සමඟ එකඟතාවකට පැමිණ ඇත. අල් කසාම් බළකාය බවට පත්වන්නේ එයය. ඔහුද හිරෙන් නිදහස් වූ පසු ඉස්-අල්-දීන් අල් කසාම් බළකාය හමුදාමය මුහුණුවරක් ගත් බළකායක් විය. ඔහුට එරෙහිව ඊශ්‍රායලය එල්ල කරන බරපතළ චෝදනාව වන්නේ හමාස් සංවිධානයේ බෝම්බ නිෂ්පාදනය කළ යෙහ්යා අය්යාෂ්ගේ ඝාතනයෙන් පසු පළිගැනීමේ මෙහෙයුමක් හා එහි අධීක්‍ෂණ කටයුතු සිදුකිරීමය. ඒ 1990 වසරේදී ඊශ්‍රායල ජාතිකයන් 50 දෙනකු පමණ මියගිය බස් බෝම්බ ප්‍රහාර හා 1990 මැදභාගයේ දී ඊශ්‍රායල භටයන් තිදෙනකු ඝාතනය කිරීමට ඔහු සම්බන්ධ වීමය. 2000 වසරේදී ඔහු යළිත් ඊශ්‍රායල අත්අඩංගුවට පත්වුවද ඔහු එයින්ද පැනගියේය. එවැනිම අනෙක් හමාස් නායකයකු වන්නේ මර්වාන් ඊසාය. ඔහුද ඩෙයිෆ්ගේ දකුණු අත ලෙස ප්‍රචලිතය.
ඉස්-අල්-දීන් අල් කසාම් බළකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරියාද ඔහුය. වසර පහක් ඔහු ඊශ්‍රායල රැඳවුම් භාරයේ සිටියේය. අනෙකා වන්නේ යෙහ්යා සින්වර්ය. ඔහුද හමාස් සංවිධානයේ ප්‍රබලම බලකණුවකි. 2015 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඔහු ජාත්‍යන්තර ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර තිබුණි. හමාස් සංවිධානයේ නායකයා ලෙසද ගාසා තීරයේ දේශපාලන කාර්යාංශයේ ප්‍රධානියා වූයේ ඔහුය. 1982 වසරේ සිට තුන්වරක් ඊශ්‍රායල අත්අඩංගුවට ඔහුද පත්වන්නේය. වර්ෂ 1988 දී ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත් වන්නට සිදුවිය. එහෙත් 2011 වර්ෂයේදී ඔහුට නිදහස ලැබෙන්නේ සිරකරුවන් හුවමාරු කිරීමේ වැඩසටහනක් මගිනි. 2017 සිට හමාස් නායක වන්නේ ඔහුය. 2017 පෙරවාරි 13 සිට සින්චර් ඝාතනය කෙරුණු ඉස්මයිල් හනියේගේ අනුප්‍රාප්තිකයාද විය.
ඊශ්‍රායලය අද වනවිට පැටලී සිටින්නේද ගාසා තීරයේ යුද ගැටුමකටය. 2023 ඔක්තෝබර් 09 දින හමාස් සංවිධානය ඊශ්‍රායල් දේශ සීමා හරහා ඊශ්‍රායලයට ඇතුළු වී එල්ල කළ ප්‍රහාරයෙන් පසුව ඇවිළුණු මැදපෙරදි යුද්ධයෙන් මේ වනවිට මියගිය පිරිස 39,445ක් බවටද විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත.
මැදපෙරදිග යුද්ධය ලංකාවට බලපාන හැටි
ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජයටද සාමය ළඟාකර ගැනීමේ කිසිදු අදහසක් නැති බව විදෙස් ආරංචි මාර්ග හෙළිකර ඇත. එවන් තත්ත්වයකදී ඉරානය හා ඊශ්‍රායලය අතර යුද ගැටුම් නිර්මාණය වීම නිසා එම තත්ත්වය ශ්‍රී ලංකාව වැනි රටකට ආර්ථික තත්ත්වයට බොහෝ සෙයින්ම බලපානු බව ආර්ථික විශ්ලේෂකයන් බොහෝ මත පළකොට ඇත. ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර රැකියා ගිවිසුමක් පවතින අතර එම ගිවිසුම හරහා ඊශ්‍රායලය වැනි රටවල රැකියා සඳහා පිරිස් යැවීමද මේ වනවිට පවතින්නේ අනතුරුදායකය. එමෙන්ම ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් පිරිසද ඉන්නේ අනතුරකය. ඊශ්‍රාලයේ කෘෂිකර්මාන්තය හා විවිධ කර්මාන්ත ක්‍ෂේත්‍ර සඳහා හා සාත්තු සේවය සඳහා පසුගිය කාලය තුළ ශ්‍රී ලාංකිකයන් සැලකියයුතු පිරිසක් මෙරටටින් පිටත්විය. මේ වනවිටද ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විමසිල්ලෙන් පසුවන බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයටත්, විදේශ කටයුතු අමාත්‍යාංශයටත් දැනුම් දී ඇත. මේ වනවිට ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂ තුනක් පමණ විදේශ රැකියා සඳහා පිටත්වී ගොසිනි. එයින් පනස් දෙදහසක් (152,000) 2023 වසර ආරම්භයේ ගිය අයය. එයින්ද 112,000 ක් සිටින්නේ මැදපෙරදිග රටවලය. සෞදි අරාබිය, කුවේට්, කටාර්, එක්සත් එමීර් රාජ්‍යය යන රාජ්‍ය වලටද ලක්‍ෂ දහයක පමණ පිරිසක් සේවය කරන්නේය. ඉරානය හා ඊශ්‍රාලය අතර ගැටුමෙන් ගල්ෆ් රටවල් කරාද එය යුද ගැටුම පැතිර ගියහොත් එම රටවල්වල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත පවතින්නේ අනතුරකය. තවද මෙරට ලැබෙන විදෙස් මුදල් සංචිත වලටද මේ කියන යුද්ධය බෙහෙවින්ම බලපාන බව සැබෑය.
ඉන්ධන මිලත් නගින ලකුණු
ඉරාන – ඊශ්‍රායල යුද්ධයේ අඳුරු පැතිකඩ හා ඉන් මෙරටට ඇතිවන අවදානම ගැන ආර්ථික විශ්ලේෂකයන් පැහැදිලි කරන්නේ පවතින යුදමය වාතාවරණයත් සමඟ විදෙස් රටවල් මගින් පනවනු ලබන සම්බාධක හේතුවෙන් මෙරටට අපනයන ආදායමටද බොහෝ සෙයින් තර්ජනයක් එල්ල වන බවය. ඔවුන් කියන්නේ ඉදිරියේදී ඉන්ධන මිලෙහි වැඩිවීමක් සිදුවිය හැකියි යන්නය. එමෙන්ම මේ වනවිට මෙරට ආනයනය කරනු ලබන බොර තෙල් හා පිරිපහදුකරන ලද ඉන්ධන ගෙනඑන්නේ සිංගප්පූරුවෙන් හා චීනය ඇතුළු රටවලිනි. ඉරානය හා ඊශ්‍රායලය අතර යුද ගැටුම හේතුකොටගෙන ලෝක වෙළෙඳපොල තුළ තෙල් මිලෙහි වැඩිවීමක් සිදුවෙන බවද ආර්ථික විශ්ලේෂකයන් ප්‍රකාශ කොට ඇත.
අපනයනයටත් වැටෙන ලෙඩ
ලංකාව වැනි රටක විදේශ විනිමය උපයීම සිදුකරන්නේ සංචාරක කර්මාන්තය හැරුණු කොට දේශීයව වගාකරන තේ, රබර්, කුරුඳු ආදී අපනයන භෝග ආදියෙනි. මෙරට නිෂ්පාදිත තේ වැඩිපුරම මිලදී ගන්නේද මැදපෙරද රටවල්ය. ලෝක යුදමය තත්ත්වය පැවතිය හොත් සිදුවන්නේද රටවල් අතර යම් සම්බාධක පැනවීමත් සමඟ ආනයන අපනයන කටයුතු ඇනහිට විදෙස් ප්‍රේෂණ ගලා ඒම නැවතීමය. මෙරටට විදේශීය ආදායම උපද්දවන ඇඟලුම් කර්මාන්තය පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් ඉදිරියේදී ඇතිවන බවට ආර්ථික විශ්ලේෂකයින් මත පළ කර ඇත. මේ අන්දමින් මෙරට විදෙස් මුදල් සංසරණය වන සියලුම මාර්ග ඇනහිටීම නිසා ඉදිරියේදී මෙරටට නැවතත් බංකොලොත්භාවය පැමිණීමට මේ කියන මැදිපෙරදිග යුදමය වාතාවරණය අතිශය බලපා ඇත. 1990 දී කුවේට් යුද්ධය නිසා ශ්‍රී ලාංකිකයන් ගෙන්වාගැනීමට සිදුවූ බවද පවතින තත්ත්වය බරපතළ බවද ජනපතිවරයාද පවසා ඇත. කෙසේ වුවද මැදපෙරදිග යුද්ධය උග්‍ර අතට පත්වුවහොත් මැදපෙරදිග සේවය කරන ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව නැවත මෙරටට ගෙන්වාගත යුතුය. එහෙත් ඉන් සිදුවන්නේද රටේ සමස්ත ආර්ථිකයට සෘජු දායකත්වය සපයන පිරිස අහිමිවීම පමණකි.
රමින්ද මාවතගේ