සිකුරාදා, 16 අගෝස්තු 2024 13:08

මැදියම් රැයේදී කොල්කටාව යුද පිටියක් වෙයි Featured

– වෛද්‍යවරියකගේ ඝාතනයට එරෙහිව දහස් සංඛ්‍යාත කාන්තාවෝ වීදි බසිති

– වෛද්‍යවරුන්ට මැර ප්‍රහාරයක්
– විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස්

ඉන්දියාවේ නැඟෙනහිර බෙංගාල ප්‍රාන්තයේදී අභ්‍යාසලාභී වෛද්‍යවරියක දූෂණය කර ඝාතනය කිරිමේ සිදුවීමක් මුල් කරමින් රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ලක්ෂ තුනකට අධික වෛද්‍යවරු පිරිසක් ආරම්භ කළ වැඩ වර්ජනය මැද කාන්තා හිංසනයට එරෙහිව යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා දහස් සංඛ්‍යාත කාන්තාවන් පෙරේදා මැදියම් රැයේදී කොල්කටා නුවරට එක්රොක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තරුණ හා මහලු සෑම වයස් කාණ්ඩයකම කාන්තාවන් සමඟ පිරිමි පාර්ශ්වය ද එම විරෝධතාවට එක් වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. විරෝධතාව මැඬ පැවැත්වීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද, විරෝධතාවට එක්වූ කාන්තාවන්ට පහර දී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

31 හැවිරිදි වෛද්‍යවරියගේ ඝාතනයට එරෙහිව පැවැත්වෙන විරෝධතාවලට සහාය පළ කරමින් මුම්බායි, පූනේ, දිල්ලි සහ හයිද්‍රාබාද් නගරවල ද විරෝධතා පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දියාවේ පමණක් නොව අමෙරිකාවේ ටයිම්ස් චතුරස්‍රයේ ද එම කුරිරු ඝාතනයට එරෙහිව විරෝධතා පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර විරෝධතාව අතරතුර කලහකාරී මැර කණ්ඩායමක් වෛද්‍යවරිය ඝාතනයට ලක්වූ කොල්කටා නුවර ආර්.ජී.කාර් වෛද්‍ය විද්‍යාල හා රෝහල් භුමියට ඇතුළු වී රෝහල් ගොඩනැඟිල්ලට දැඩි අලාභහානි සිදු කර ඇතැයි ද, වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයට මැර ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම පහරදීමෙන් පසු විරෝධතාව දැඩි උණුසුම් මුහුණුවරක් ගත් බවත්, සිය ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය ද වීදි බැස විරෝධතාවට එක්වී සිටින බවත් වාර්තා වේ. මැර පහරදීම අතරතුර රෝහල් කාර්ය මණ්ඩලය සහ වෛද්‍යවරු සිය ජංගම දුරකතන මගින් උදව් ඉල්ලා බාහිර පුද්ගලයන් වෙත යවනු ලැබූ වට්ස්ඇප් කෙටි පණිවිඩ මේ වන විට සමාජ මාධ්‍ය ජාලයේ වැඩි අවධානයට ලක්වී තිබේ. මැර ප්‍රහාරයෙන් රෝහලේ රථගාලේ නවතා තිබූ වාහන සහ යතුරුපැදි රැසකට ද අලාභ හානි සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. විරෝධතාව කඩාකප්පල් කිරීමට ප්‍රාන්ත මහඇමැතිනි මමතා බෙනර්ජි එම මැර කල්ලිය එවනු ලැබූ බවට ද චෝදනා එල්ල වී තිබේ.

වෛද්‍යවරියගේ මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ගෙල සිර කර ඝාතනය කිරීමක් ලෙස සඳහන් වුවද මූලික වෛද්‍ය පරීක්ෂණ වාර්තාව අනුව ඇය ඉතා දරුණු ආකාරයෙන් සමූහ දූෂණයට ලක්වී ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. මරණය සම්බන්ධ කොල්කටා පොලිසිය විසින් සිදු කරනු ලබන විමර්ශන කටයුතු කෙරෙහි කිසිදු විශ්වාසයක් නැති බවත්, සාධාරණ හා අපක්ෂපාතී විමර්ශනයක් සිදු කරන ලෙසත් එම ප්‍රාන්තයේ වෛද්‍යවරුන් හා ඝාතනයට ලක්වූ වෛද්‍යවරියගේ මවුපියන් විසින් කරනු ලැබූ ඉල්ලීමට අනුව එම විමර්ශන කටයුතු ෆෙඩරල් මධ්‍යම විමර්ශන කාර්යාංශය වෙත භාර දෙන ලෙස පසුගියදා කොල්කටා මහාධිකරණය නියෝග කර තිබිණි. වෛද්‍යවරියගේ ඝාතනයට සැක පිට රෝහල් සේවකයකු අත්අඩංගුවට ගෙන තිබේ.

vnbgmghjgj

DN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website