ඉරිදා, 27 ඔක්තෝබර් 2024 09:44

සාමය තව දුරයි… Featured

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් නැවතත් බටහිර ආසියාවට පැමිණියේය. පසුගිය වසරේ ඔක්තෝබර් 07 දින ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුව ඔහු මෙම කලාපයට පැමිණෙන 11 වන වතාව මෙයයි. එක්සත් ජනපදයේ මතය අනුව සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය එකඟ කරවා ගැනීමට දැන් පසුබිම සකස් වී ඇත.

ඊශ්‍රායලයට අවශ්‍යම බිල්ල

ඊශ්‍රායලය තමන්ට හිසරදයක්ව පැවති ආයුධ සන්නද්ධ සංවිධානවල ඉහළම පුටු එකින් එක පෙරළා දමා ඇත. පසුගිය ජූනි මාසයේදී හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ ටෙහෙරානයේදී ඝාතනය විය. ඉන් පසුව හිස්බුල්ලා නායක හසන් නසරුල්ලාද, ඔහුගෙන් පසුව නායකත්වයට යෝජනා වූ හෂීම් සෆිද්දීන් ද ඝාතනය වී ඇත. කෙසේ වෙතත් ඔක්තෝබර් 7 ප්‍රහාරයේ මහා මොළකරු ලෙස සැළකෙන යහියා සින්වර් ඝාතනය සංකේතාත්මකව ඊශ්‍රායලය ලැබූ ඉහළම ජයග්‍රහනයයි. සින්වර් ඝාතනය වූයේ ස්වෙච්ඡා ඊශ්‍රායල් හමුදා ඛණ්ඩයක් විසින් සිදුකරන ලද සැළසුම් නොකළ මෙහෙයුමකින් වුවත් එය ඊශ්‍රායලයට ඉහටත් උඩින් ලැබුණු බෝනස් එකකි. යහියා සින්වර් යනු ඊශ්‍රායලයට වඩාත්ම අවශ්‍යම සිටි බිල්ල බව පැවසේ. යුද්ධය ආරම්භ වූයේ හමාස් ප්‍රහාරය නිසා නම් ඊශ්‍රායලය දැන් එහි ඉහළම වාඩුව ලබා ගෙන ඇත.

සින්වර්ගේ පූර්වප්‍රාප්තිකයා වූ ඉස්මයිල් හනියේ සාකච්ඡා මාර්ගයෙන් හා රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයකින් කටයුතු කිරීමට උත්සාහ දැරූ දේශපාලනඥයෙකි. හනියේ යම් කාලයක් පලස්තීන අධිකාරියේ අගමැති ධුරයද දැරුවේය. නමුත් යහියා සින්වර් එසේ නොවේ. සින්වර් යනු දැඩි මතධාරී, නිරානුකම්පිත සටන්කරුවකු බව පැවසේ. සතුරන්ට එරෙහිව හමාස් සංවිධානයේ බොහෝ ම්ලේච්ඡ ඝාතන සැලසුම් කළේ ඔහුය. මේ නිසාම ඔහු හමාස් සංවිධානය තුළ මෙන්ම ගාසා වැසියන් තුළද ජනප්‍රිය නායකයකුව සිටියේය. ඉස්මයිල් හනියේ හමාස් සංවිධානයේ දේශපාලන නායකත්වය හොබවන අවධියේ පවා එහි හමුදා නායකයාව සිටියේ යහියා සින්වර්ය. හනියේගේ මරණයෙන් පසු සින්වර් දේශපාලන හා හමුදා අංශ දෙකෙහිම නායකත්වය භාර ගත්තේය.

අහම්බෙන් කොටු වූ යහියා සින්වර්

බොහෝ පලස්තීනුවන්ට අනුව යහියා සින්වර් යනු ඊශ්‍රායලයට එරෙහි ඔවුන්ගේ දීර්ඝකාලීන අරගලයේ ප්‍රතිමුර්තියකි. පලස්තීන සරණාගත කඳවුරක ඉපිද හමාස් නායකයා ලෙස මියයන තෙක් ඔහු කළ කී දෑ පිළිබඳව බොහෝ පලස්තීනුවන්ගේ සිත් තුළ ඇත්තේ ගෞරවයකි. ඔහු කිහිප වරක් ඊශ්‍රායල අත්අඩංගුවට පත්ව තිබුණි. අවසන් වරට අත්අඩංගුවට පත්වූයේ ඊශ්‍රායල සෙබළුන් හා ඔත්තුකරුවන් කිහිප දෙනකු ඝාතනය කිරීමේ චෝදනාවටය. එවර ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබුණි. ඔහු සිරගතව සිටියදී පලස්තීන අරගලය පිළිබඳව ග්‍රන්ථ කිහිපයක් ද රචනා කර තිබේ.

පසුව ගිලාඩ් සලීත් සිරකරු හුවමාරුවේදී සින්වර් ද ඊශ්‍රායල සිරභාරයෙන් නිදහස් විය. ගිලාඩ් සලීත් යනු හමාස් භාරයේ සිටි ඊශ්‍රායල සෙබළෙකි. ඔහු වෙනුවෙන් පලස්තීන සිරකරුවන් 1027ක් නිදහස් කිරීමට 2011දී ඊශ්‍රායල රජය කටයුතු කළේය. ඉන් බොහොමයක් සින්වර් මෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ හමාස් සටන්කාමීන් වේ.

යහියා සින්වර් නියෝජනය කළේ ඊශ්‍රායලයට එරෙහි පලස්තීන අරගලයේ නව පරම්පරාවයි. මරණයෙන් පසුව වුවත් තරුණ සටන්කරුවන්ට ජීවය හා ධෛර්ය සැපැයිය හැකි යුද වීරයකු ලෙස ඉරාන නායකයා විසින් ඔහුව හඳුන්වා දෙන ලදී. තම නායකයා නිර්භීත ලෙස මරණයට මුහුණ දුන් බවත් පලස්තීන විමුක්තිය වෙනුවෙන් ඔහුගේ ජීවිත පරිත්‍යාගය ඉතිහාසයේ ලියැවෙනු ඇති බව හමාස් සංවිධානය පවසා ඇත.

ඊශ්‍රායල පාර්ශ්වයෙන් මුලින් පවසා තිබුණේ යහියා සින්වර් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මිනිස් පළිහක් ලෙස තබා ගෙන ආරක්ෂාකාරීව සිටින බවයි. කෙස් නමුත් සින්වර් සැඟවී සිටි භූගත ගොඩනැඟිල්ලේ එවැනි කිසිදු මිනිස් පළිහක් දක්නට නැත. හමාස් සෙබළුන් කිහිප දෙනකුගේ ආරක්ෂාව යටතේ ඔහු සැඟව සිට ඇත. අහම්බෙන් ඇති වූ වෙඩි හුවමාරුව නොවන්නට ඊශ්‍රායලයට තව කාලයකට ඔහුව දඩයම් කිරීමට නොහැකි වන්නට ඉඩ තිබුණි. ඔහු ඉතා සූක්ෂම ආකාරයෙන් තැනින් තැනට මාරු වෙමින් සටන් මෙහෙයවා ඇති බව පැවසේ. කෙසේ වෙතත් සින්වර් අවසන් වරට ජීවත් වූ ගොඩනැඟිල්ල සුඛෝපභෝගී වාසස්ථානයක් බව පෙනෙන්නට තිබේ. ඊශ්‍රායල හමුදා පෙන්වා දෙන්නේ ගාසා වැසියන් අනතුරේ හෙළා හමාස් නායකයන් සැපවත් ජීවිත ගත කර ඇති බවයි. මීට මාස කිහිපයකට පෙර සින්වර් හා ඔහුගේ පවුල මෙම බංකර නිවස්නයේ පදිංචියට පැමිණ ඇත. සින්වර්ගේ බිරිඳ ඩොලර් 32000ක් වටිනා අත්බෑගයක් රැගෙන බංකරයට ඇතුළුවන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊශ්‍රායල හමුදාව විසින් මාධ්‍යයට නිදහස් කර ඇත.

සටන් විරාමයකට ඉඩක්

සින්වර්ව නායකත්වයට පත්කිරීමෙන් හමාස් සංවිධානය ජාත්‍යන්තරයට ලබා දුන් පණිවුඩය වූයේ ඊශ්‍රායලය සමග කිසිදු ආකාරයේ සාම සාකච්ඡාවකට තමන් සූදානම් නොමැති බවයි. ඊට පෙර කටාර් රාජ්‍යය, ඊජිප්තුව ආදී මැදහත් රාජ්‍යයන්ගේ මූලිකත්වයෙන් ගාසා යුද්ධයට සටන් විරාමයමක් ඇතිකර ගැනීමේ උත්සාහයන් පැවතුණි. නමුත් සින්වර් යටතේ සටන් විරාමයක් ඇතිකර ගැනීමට කිසිදු ඉඩක් නොතිබුණි. ඊට ඊශ්‍රායලය පාර්ශ්වයෙනුත් කිසිදු කොළ එළියක් දැල්වුණේ නැත.

සින්වර්ගේ හිස් වූ හමාස් නායකත්වයට පත්වීමට බොහෝ ඉඩක් ඇත්තේ ඔහුගේ නියෝජ්‍ය නායකයා වශයෙන් කටයුතු කළ ඛලීල් අල්-හයියා නම් මධ්‍යස්ථ නායකයකු බව පැවසේ. ඔහු කටාර්හි වාසය කරන අතර දැනටමත් දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් ඇතිකර ගැනීමේ සාකච්ඡා සඳහා නායකත්වය ලබා දෙයි. ඔහුට සටන්කරුවකුට වඩා දේශපාලනඥයකු ලෙස අරාබි රාජ්‍යතාන්ත්‍රිකයන් අතර යම් පිළිගැනීමක් ඇත. ගාසා තීරයේ තත්ත්වය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඔහු සතු නිසා දැන් සාමකාමී ප්‍රවේශයකට බොහෝ දුරට ඉඩක් ඇතැයි විශ්වාසයක් පවතී.

ඇමෙරිකානු ජනාධිපතිවරණයටත් බලපෑම්

මැදපෙරදිග ගැටුම එක්සත් ජනපද රාජ්‍ය තන්ත්‍රයට සෘජුවම බලපාන භූ දේශපාලනික කාරණයකි. විශේෂයෙන්ම එරට තීරණාත්මක ජනාධිපතිවරණය තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත බැවින් පාලක ඩිමොක්‍රටික් පක්ෂයට මෙම අර්බුදය හිසරදයකි. ඩිමොක්‍රටික් පක්ෂයේ සම්ප්‍රදායික ඡන්ද පදනමට බොහෝ සුළු ජාතික හා මුස්ලිම් සම්භවයක් සහිත ඇමෙරිකානුවන්ගේ ඡන්ද ඇතුළත් ය. ඩිමොක්‍රටික් අපේක්ෂිකා කමලා හැරිස්ට ජයග්‍රහණය සඳහා මෙම සුළු ජාතික ඡන්ද ආකර්ෂණය කර ගැනීම අත්‍යාවශ්‍යය. ඇයගේ රිපබ්ලිකන් ප්‍රතිවාදියා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් කොහොමත් ඊශ්‍රායල හිතවාදී ස්ථාවරයක සිට කටයුතු කරන බව අමුතුවෙන් සැඟවීමට අවශ්‍ය නොවේ. ඔහුගේ ප්‍රචාරණ ව්‍යාපාරය වැඩි බර තබා ඇත්තේ සම්ප්‍රදායික සුදු ජාතික ඡන්ද පදනම කෙරෙහිය. ඊට අමතරව ආර්ථික කාරණා ද ඔහුගේ මැතිවරණ පොරොන්දුවල ඉහළින්ම ඇත. ජනාධිපතිරණ සමයේදී ඊශ්‍රායලයට රතු ඉර පැනීමට ඉඩ නොදීමට බයිඩන් පාලනය මෙතරම් වෙහෙසෙන්නේ එහි දේශපාලන වාසිය නිතැතින්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා ගන්නා බැවිනි. ඊශ්‍රායලය ඉරානයට පහර දුන්නොත් එක්සත් ජනපදයට කරබා ගෙන සිටිය නොහැක. ඩිමොක්‍රටික් පාලකයන් ලෝකය පුරා යුද ගැටුම්වල පටලැවී ඇමෙරිකානු සෙබළුන්ගේ ජීවිත අවදානමක හෙළන බව ට්‍රම්ප්ගේ ප්‍රමුඛ චෝදනාවකි. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඇමෙරිකානු අභිලාෂයන්ද ඉටුවන නමුත් ඩිමොක්‍රටික් පක්ෂයේ දේශපාලනයට මෙය එතරම් සුබවාදී නොවේ. බ්ලින්කන් මහතා ලහිලහියේ ඊශ්‍රායලයට පැමිණෙන්නේ එබැවිනි. ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයකට මෙය හොඳම අවස්ථාවකි.

ප්‍රාණ ඇපකරුවන් නිදහස් වේද?

vnmghkghjgjgjghj

කෙසේ වෙතත් සාමයක් ගැන යම් බලාපොරොත්තුවක් ඇති කර ගත හැක්කේ හමාස් නායකත්වයට ඛලීල් අල්-හයියා වැනි මධ්‍යස්ථ පුද්ගලයකු පත් වුව හොත් පමණි. අනිත් අතට හමාස් ප්‍රාණ ඇපයේ ඉතිරි වී සිටින ඊශ්‍රායල ජාතිකයන් 101 දෙනා පිළිබඳවද පැහැදිලි තීරණයක් අවශ්‍යය. සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායල පාර්ශ්වයේ පළමු කොන්දේසිය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමයි. ඔවුන් දැනට ජීවත්ව සිටින බවට පැහැදිලි සාක්ෂි නැතත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතනිහාහු මෙම කාරණය වෙනුවෙන් දැඩිව පෙනී සිටියි.

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් හමාස් සංවිධානයද කොන්දේසි පණවා ඇත. සිය නායකයන් ඝාතනය වුවද එම කොන්දේසි කිසිවක් වෙනස් වී නැතැයි හමාස් සංවිධානය පවසයි. ඔවුන්ගේ පළමු කොන්දේසිය ඉටුකිරීමට ඊශ්‍රායලය මේ මොහොතේ කිසිසේත් කැමති වන්නේ නැත. සටන් විරාමයක් ගැන කතා කිරීමට නම් මුලින්ම ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් සම්පූර්ණයෙන් ඉවත් විය යුතු යැයි හමාස් යෝජනා කර ඇත. මීට අමතරව සතුරුකම් අවසන් කිරීම, පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම, මානුෂීය ආධාර හුවමාරු කිරීම සහ යුද්ධයෙන් විනාශ වූ භූමිය ප්‍රතිසංස්කරණය කිරීම තවදුරටත් හමාස් ඉල්ලීම් අතර වේ. එම කොන්දේසි ඊශ්‍රායල රජය විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත. හමාස් සංවිධානය ඊශ්‍රායලයට යටත් විය යුතු බව නෙතනියාහු මහතා අවධාරණය කරයි.

හමාස් නව නායකයා කවුද?

අවසන් සොල්දාදුවා හා අවසන් වෙඩි උණ්ඩය දක්වාම සටන් කරන බවට ගිවිස ගෙන ඇති හමාස් වැනි සංවිධානයක් ආයුධ අතහැර යටත් වේ යැයි සිතීම මුළාවකි. මෙම පීඩනය හමුවේ ඛලීල් අල්-හයියා වැනි දේශපාලන නායකත්වයට හමාස් ඉරණම භාර දෙනවාට වඩා සින්වර් වැනි සටන්කරුවකු නායකත්වයට පත්කිරීමට ඇති ඉඩකඩද බැහැර කළ නොහැකිය. යාහියා සින්වර්ගේ සහෝදරයා පිළිබඳවද සංවිධානයේ අවධානය යොමු වී ඇත. තම සහෝදරයා මෙන්ම අනුකම්පා විරහිත අණ දෙන නිලධාරියකු වන මොහොමඩ් සින්වාර් හමාස් නව නායකයා ලෙස ඉස්මතු වෙමින් පවතින බවද වාර්තා පළවේ. දැනට ඉතිරි වී ඇති හමාස් සන්නද්ධ කණ්ඩායම්වලට නායකත්වය දෙන්නේ ඔහු බවට විශ්වාසයක් ඇත. කෙසේ වුවද ආරක්ෂක හේතූන් මත ඉදිරියේදී හමාස් සංවිධානය සිය නියම නායකයාගේ අනන්‍යතාවය රහසිගතව තබා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇත.

යුද්ධයට කවුරුන් කෙසේ වගකිව යුතු වුවද මෙයින් අතිශයින් පීඩාවට පත්ව ඇත්තේ අහිංසක සිවිල් වැසියන්ය. විශේෂයෙන්ම හයක් හතරක් නොතේරෙන කුඩා දරුවන් විශාල සංඛ්‍යාවක් මියගොස් ඇත. මේ වන විට ගාසා තීරය තුළ පමණක් පලස්තීනුවන් 40,000 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති අතර මිලියන 2.3 ක් වූ ගාසා වැසියන් අවතැන් වී ඇත. එහි නිවාස හා ගොඩනැඟිලිවලින් අඩකට වඩා බිමට සමතලා වී ඇත. ඉරානයේ සහාය ලබන ලෙබනනයේ හිස්බුල්ලා හා යේමනයේ හූති සටන් කාමීන්ද ඊශ්‍රායලයට එරෙහි සටනට එක්ව ඇත. හිස්බුල්ලා සංවිධානයේද ඉහළ නායකයන් බොහෝ දෙනකු මේ වන විට ඝාතනය වී ඇත. එම ප්‍රොක්සි හමුදාවන්ට පිටුබලය ලබා දෙන්නේ ඉරානය නොවේ නම් දැන් මෙම සටන්කාමී සංවිධාන පොළොවටම සමතලා වී හමාර විය යුතුය.

ගෝලීය ආර්ථිකය අවධානමක

ගාසා තීරය පමණක් නොව දකුණු ලෙබනනයද මානුෂීය ඛේදවාචකයක් වී ඇත. ඊශ්‍රායලය වෙත එල්ල වී ඇති ජාත්‍යන්තර පීඩනය සුළුපටු නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා බොහෝ යුරෝපීය රටවල් පවා ඊශ්‍රායලයට එරෙහි ස්ථාවරයක සිටින බැවින් ඇමෙරිකානු නායකයාට ඇස් කන් පියා ගෙන බලා සිටිය නොහැක.

ඊශ්‍රායලය නිසා තම දීර්ඝකාලීන බටහිර මිතුරු කඳවුර අහිමි කර ගැනීමට එක්සත් ජනපදයට අවශ්‍ය නැත. ඊශ්‍රායලය යොදවා ඉරානයට පහර දී එරට ආගමික පාලනය අඩපණ කිරීම එක්සත් ජනපද උපාය මාර්ගයන්ට එකඟ වුවත් ඊට සුදුසු මොහොත මෙය නොවේ. යම් ආකාරයකින් ඊශ්‍රායලය හා ඉරානය යන දෙරට සෘජුවම යුද්ධයට එළඹුණහොත් එය ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් ඇත. රුසියාව හා යුක්‍රේනය අතර යුද තත්ත්වය සමථයකට පත් වී තිබුණා නම් රුසියාවද මීට පැටලීමට වැඩි ඉඩකඩක් ඇත. මැද පෙරදිග කාලාපයේ මහා පරිමාණ යුද්ධයකදී මුලින්ම බලපෑම් එල්ල වන්නේ බොරතෙල් මිලටයි. එය ලෝක ආර්ථික බලවතුන්ට කිසිසේත්ම හිතකර තත්ත්වයක් නොවේ. චීනය පවා රතු මුහුදේ හූති ක්‍රියාකාරකම්වලට ඉඩ නොතබන ලෙස ඉරානයට අවවාද කරන්නේ මෙකී ආර්ථික කාරණා නිසාය. තවද ඊශ්‍රායලය ජයග්‍රාහී අඩියක සිටින මොහොතක සටන් විරාමයකට එකඟ නොවීමට හේතුවක් නොමැත. එම නිසා යුද්ධය තවත් මානයකට ගමන් කිරීමට පෙර සටන් විරාම සාකච්ඡා ආරම්භ කිරීමට මේ මොහොතේ එක්සත් ජනපදය මූලිකත්වය ගනු ඇතැයි සිතිය හැක.

සයිබර් ප්‍රහාරයකට ඉඩක්

සටන්කාමී සංවිධාන සමග ඊශ්‍රායලයේ මතුපිට යුද්ධය තාවකාලිකව නිමා වුවද ඉරානය හා ඇති පසමිතුරුකම් තවදුරටත් පවතිනු ඇත. දෙපාර්ශ්වයම උත්සාහ කරන්නේ රහසිගතව එකිනෙකා මට්ටු කිරීමටයි. හිස්බුල්ලා නායකයාගේ මරණයෙන් පසු ඊශ්‍රායලයට ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල වුවද ඊශ්‍රායලය වහාම ඊට ප්‍රතිප්‍රහාර එල්ල නොකිරීමට බොහෝ හේතු තිබෙන්නට පිළිවන. තහවුරු නොකළ වාර්තාවන් අනුව ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් දරුණු ක්‍හඉැර ප්‍රහාරයකට ලක් වූ බව පසුගිය දා ඉන්දීය මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබුණි. එසේම ඉරාන ඛණිජ තෙල් බෙදාහැරීමේ ජාලය, නාගරික පහසුකම්, ප්‍රවාහන, වරාය වැනි ආර්ථිකයේ ප්‍රමුඛ සැපයුම් ජාලා සියල්ලමත් මෙම ප්‍රහාරයට ලක්වූ බව එකී මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. අද යුද්ධය සිදුවන්නේ හමුදා පිරිස් බලය, අවි ආයුධ බලය මතම නොවේ. නවීන තාක්ෂණය හා බුද්ධි මෙහෙයුම්වලින් සතුරාට අති විශාල විනාශයක් කළ හැක. සයිබර් ප්‍රහාරයකින් සතුරු රාජ්‍යයේ ආර්ථික ක්‍රියාවලිය මුළුමනින්ම අඩපණ කළ හැකිය. දැනට ලෝකයේ සිදුවන සයිබර් ප්‍රහාරයන්ගේ අරමුණ වන්නේ පද්ධති මුළුමනින්ම අඩපණ කිරීමම නොවේ. තමන්ට අවශ්‍යනම් එසේ කළ හැකි බවට ඉඟියක් ලබා දීමයි. සතුරා ප්‍රබල වූ විට රාජ්‍යතාන්ත්‍රිකව ගනුදෙනු බේරා ගැනීමට ඕනෑම රටක් පෙළඹේ.

නෙතනියාහුගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්

පසුගිය සතියේ සෙනසුරාදා ඊශ්‍රායල අගමැතිවරයාගේ නිවාඩු නිවස්නයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයේ වගකීම හිස්බුල්ලා සංවිධානය විසින් භාර ගෙන ඇත. නිවස්නය පිහිටා ඇත්තේ උතුරු ඊශ්‍රායලයට අයත් සිසේරියා නගරයේ මුහුදු වෙරළේය. ඊශ්‍රායල රජය ප්‍රකාශ කළේ අගමැතිවරයාගේ නිවාස තුනෙන් එකක් ඩ්‍රෝන යානා තුනකින් ඉලක්ක කර ඇති බවත්, ඉන් දෙකක් තම භාරයට ගත් බවත්ය. ප්‍රහාරය සිදුවන මොහොත වන විට අගමැතිවරයා හෝ ඔහුගේ බිරිඳ නිවසේ නොසිටි බවත් වාර්තා වෙයි. ඩ්‍රෝන යානය අගමැතිවරයාගේ නිදන කාමරයේ ජනේලය අසළටම පැමිණ ඇති බවත් ශක්තිමත් ඝණ වීදුරු ආවරණය හේතුවෙන් කාමරය තුළට ඇතුළු වීමට නොහැකි වී ඇති බවත් ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර තිබුණි. කෙසේ වුවත් ජනේල වීදුරුව ඉරිතලා ගොස් ඇති අතර වීදුරු කැබලි නිවසේ පිහිණුම් තටාකයට වැටී ඇති බව එම වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වේ.

ඊශ්‍රායල ගුවන් ආරක්ෂණ පද්ධතියට පවා හඳුනාගත නොහැකි සැහැල්ලු ඩ්‍රෝන යානාවක් මෙසේ නිවැරදි ඉලක්කයකට ළඟා වීම ඊශ්‍රායල ආරක්ෂක අංශ විමතියට පත්කර ඇත. විශාල හානියක් නොවුනත් එහි ඇති අභියෝගය සුළු පටු නැත. රාජ්‍ය ආරක්ෂාවට අදාළ සංවේදී තොරතුරු සතුරා අතට පත්වන බවට මෙයින් සාධාරණ සැකයක් මතු වේ. ප්‍රබල සතුරු කඳවුරක අණදෙන්නාගේ නිදන ඇඳ අසළටම බෝම්බයක් යැවීමේ කාරණය සැහැල්ලුවෙන් බැහැර කළ නොහැක.

ඉරාන ඔත්තුකරුවන් ඊශ්‍රායලය තුළ

ඊශ්‍රායලය යනු ලොව සූක්ෂතම බුද්ධි අංශයන් පවත්වා ගන්නා රාජ්‍යයක් බව රහසක් නොවේ. එහි ප්‍රමුඛතම බුද්ධි අංශ ද්විත්වය වන්නේ මොසාඩ් හා ෂින් බෙට්ය. අසල්වැසි යෝධ සතුරන් අතර ආඩම්බරයෙන් දෙපයින් නැඟීසිටීමට ඊශ්‍රායලයට හැකි වී ඇත්තේ දියුණු යුද තාක්ෂණය නිසාම නොවේ. බුද්ධි අංශ වැඩිදියුණු කිරීමට ඔවුන් විශාල ධනස්කන්දයක් වියදම් කරයි. ලෝකයේ අතිශයින් දියුණු ඔත්තු සේවාවන් පවත්වා ගැනීම ඊශ්‍රායලයේ මූලෝපායික උපක්‍රමයකි.

ඉරානය විසින් ඊශ්‍රායල භූමිය තුළ මෙහෙයවනු ලබන ඔත්තුකරුවන්ගේ ජාලයක් හඳුනා ගැනීමට ඊශ්‍රායල ෂින් බෙට් ඒකකය හා පොලිසිය සමත්ව තිබේ. ඊශ්‍රායල හමුදා විසින් අත්පත් කරගත් නැගෙනහිර ජෙරුසෙලම් කලාපයේදී ඉරාන ඔත්තුකරුවන් හත් දෙනකු පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් වයස විසි තුනට අඩු පලස්තීන තරුණයන්ය. ඔවුන්ට පවරා තිබූ මෙහෙයුම වී ඇත්තේ ජ්‍යෙෂ්ඨතම ඊශ්‍රායල න්‍යෂ්ටික විද්‍යාඥයකු හා ජෙරුසෙලම් නගරාධිපතිවරයා ඝාතනය කිරීමයි. මොවුන් අත්අඩංගුවට පත් වීමට පැය කිහිපයකට පෙර ඉරානය විසින් හසුරවනු ලබන තවත් ඔත්තුකරුවන් හත් දෙනකුද අත්අඩංගුවට ගෙන තිබුණි. විමතියට හේතුව වන්නේ එකී හත් දෙනාම ඊශ්‍රායල පුරවැසිභාවයන් වීමයි. ඔවුන් අසර්බයිජානයෙන් සංක්‍රමණය වූ යුදෙව්වන්ය.

මෙම පුද්ගලයන් වසර දෙකක් තිස්සේ ඔත්තු බැලීමේ මෙහෙයුම් 600ක් පමණ සිදුකර ඇත. ඊශ්‍රායලයේ උපාය මාර්ගික මධ්‍යස්ථානවල ඡායාරූප ගැනීම හා ඉරානය විසින් නම් කරන පුද්ගලයන් පිළිබඳව ඔත්තු බැලීමට ඔවුන්ව යොදවා තිබුණු බව හෙළිවී ඇත. ඔවුන් සතුව තිබී ඊශ්‍රායලයේ නෙවාතිම් හා රමාත් ඩේවිඩ් ගුවන් හමුදා කඳවුරුවල ඡායාරූප සොයාගෙන ඇත. නෙවාතිම් කඳවුර පසුගියදා ඉරාන මිසයිල ප්‍රහාරයන්ගේ ඉලක්කයක් වූ අතර රමාත් ඩේවිඩ් කඳවුර හිස්බුල්ලා ඉලක්කයක් විය. ෂින්බෙට් ඒකකය මෙම ඔත්තුකරුවන් පිළිබඳව සොයාගෙන ඇත්තේ ඉරානය සමග සබඳතා පැවැත්වූ ඊශ්‍රායල ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. එම ව්‍යාපාරිකයා කිහිප වරක් ඉරානයට ගොස් ඇති අතර ඔහුගේ ආධාරයෙන් ඊශ්‍රායල අගමැතිවරයා, ආරක්ෂක ඇමැතිවරයා හා ෂින්බෙට් ප්‍රධානියා ඝාතනය කිරීමට ඉරාන ඔත්තු සේවා උත්සාහ දරා ඇති බවට වාර්තා වෙයි. ඉරානය වෙනුවෙන් ක්‍රියාත්මක වූ ඊශ්‍රායල ඔත්තුකරුවන්ට විශාල මුදලක් ගෙවා ඇති බවද එම මුදල් රුසියානු මැදිහත්කරුවන් හරහා ක්‍රිප්ටොකරන්සි ආකාරයෙන් ගෙවා ඇතැයි ද හෙළි වී ඇත.

ඉතිරි සති කිහිපය තීරණාත්මකයි

හමාස්ලා සමග ගනුදෙනු විසඳා ගත්තද ඉරානයේ මිසයිල ප්‍රහාරයට ඊශ්‍රායලය මේ වන තෙක් පැහැදිලි ප්‍රතිප්‍රහාරයක් එල්ල කර නැත. ඊශ්‍රායල ආරක්ෂක ඇමැතිවරයා ඉරානයට මාරාන්තික හා නිශ්චිත ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන බව පවසා ඇත. මේ අතර ඉරානයට පහර දීම සඳහා ඊශ්‍රායලයේ සූදානම විස්තර කෙරෙන ඉතා රහසිගත ලියැවිල්ලක් සමාජ මාධ්‍යයන්ට හෙළිදරව් වීම නිසා ධවල මන්දිරය කලබලයට පත්ව ඇත. ජනාධිපති ජෝ බයිඩන් මේ පිළිබඳව දැඩි කණස්සල්ල පළ කර ඇති අතර එය හෙළිදරව් වූයේ කෙසේදැයි සෙවීමට FBI ආයතනය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. නොවැම්බර් 05 පැවැත්වෙන එක්සත් ජනපද ජනාධිපතිරවණයට පෙර ඉරානය වෙත ප්‍රහාරයක් එල්ල වේයැයි සැක මතු වී ඇත. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි අනතුරු අඟවා ඇත්තේ ඕනෑම ඊශ්‍රායල ප්‍රතිප්‍රහාරයකට තමන් ඊට වඩා දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි. ඒ අනුව තීරණාත්මක ඉදිරි සති කිහිපයේ මැදපෙරදිග කලාපය මහා පරිමාණ යුද අවදානමකින් ගිනියම් වනු ඇත.

bmggjgjgjg

 

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website