අඟහරුවාදා, 06 ජූනි 2023 11:19

ඔඩිෂා දුම්රිය අනතුර:ඉන්දීය දුම්රිය බලධාරීන් පොලිස් පරීක්ෂණයක් ඉල්ලයි Featured

පුද්ගලයන් 275 දෙනෙකුට මරු කැඳවූ මාරක දුම්රිය අනතුර සම්බන්ධයෙන් ඉන්දියාවේ ඉහළම රහස් පරීක්ෂක ඒජන්සිය වන (CBI) විසින් විමර්ශනය කළ යුතු බව ඉන්දීය දුම්රිය අමාත්‍යාංශය නිර්දේශ කර තිබේ.

 

දුම්රිය අමාත්‍ය අශ්විනි වෛෂ්නව් මෙම තීරණය ප්‍රකාශයට පත් කළ නමුත් වැඩි විස්තර හෙලිදරව් කර නොමැත.

ඉන්දීය දුම්රිය සේවයේ මෙහෙයවීමෙන් ආරම්භ කර ඇති අතර මූලික වාර්තා පවසන්නේ සංඥා දෝෂයක් අනතුරට හේතු වී ඇති බවයි.

සිකුරාදා රාත්‍රියේ දුම්රිය තුනක් එකිනෙක ගැටීම සිදුවු මෙම අනතුර මේ සියවසේ ඉන්දියාවේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුර ලෙස සැලකෙයි.

1000කට වැඩි පිරිසක් අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇත. සමහර පවුල් තවමත් තම ආදරණීයයන් සොයමින් සිටිති.

අනතුර සිදුවූ ස්ථානයට පැමිණි දුම්රිය අමාත්‍ය අශ්විනි වෛෂ්නව් කියා සිටියේ අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා "ඉහළ මට්ටමේ කමිටුවක්" පත් කරන බවයි.

වෛෂ්නව්ගේ කැබිනට් සගයෙකු වන ධර්මේන්ද්‍ර ප්‍රධාන්, "තාක්ෂණික හේතු" වලට දොස් පැවරූ අතර, එය "සිදුනොවිය යුතු" "අවාසනාවන්ත සිදුවීමක්" ලෙස විස්තර කළේය.

අනතුර සිදුවූ බලසෝර් දිස්ත්‍රික්කයද අයත් ගිනිකොනදිග කවයේ දුම්රිය ආරක්‍ෂක කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනය පැවැත්වෙනු ඇතැයි නිලධාරියෙක් පැවසීය.

අනතුර සිදුවූයේ කෙසේද යන්න පිළිබඳ සම්පූර්ණ තොරතුරු තවමත් නොමැත, නමුත් දුම්රිය අමාත්‍යාංශය පැවසුවේ පසුගිය සිකුරාදා පස්වරු 06:55 (GMT 13:25) පමණ කොල්කටා නගරයට දකුණින් 270km (සැතපුම් 170) පමණ දුරින් බහානාගා බසාර් දුම්රිය ස්ථානය අසලදී අනතුර සිදු වූ බවයි.

දුම්රිය තුනක් ගැටේ


කොරොමැන්ඩල් එක්ස්ප්‍රස්, බටහිර බෙංගාල ප්‍රාන්තයේ ෂාලිමාර් දුම්රිය ස්ථානයෙන් පැය කිහිපයකට පෙර ආරම්භ වී දකුණු චෙන්නායි නගරය බලා ධාවනය කරමින් තිබුණි.
හවුරා සුපර්ෆාස්ට් එක්ස්ප්‍රස් දුම්රිය, බැංගලෝරයේ යස්වන්ත්පූර් දුම්රිය ස්ථානයෙන් ආරම්භ වී හවුරා වෙත ළඟා වීමට නියමිතව තිබුණි
භාණ්ඩ දුම්රියක් බහනාග බසාර් නැවතුම්පොළේ නතර කර තිබුණි.
පළමුව පීලි පැනීමට ලක්වූයේ කුමන දුම්රිය ද, ගැටීම සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව විවිධ වාර්තා පළ වී තිබේ. එහෙත් දුම්රිය ප්‍රකාශක අමිතාබ් ෂර්මා පැවසුවේ පළමුව පීලි පැනීමට ලක්වූයේ කොරමන්ඩල් එක්ස්ප්‍රස් දුම්රිය බවයි.

බහානාග බසාර් දුම්රිය ස්ථානය දුම්රිය මාර්ග (ලයින්) හතරකින් සමන්විත බව දුම්රිය අමාත්‍යාංශයේ නිලධාරියෙක් අප වෙත පැවසීය.

"පළවෙනි ලයින් එකේ සහ හතරවන ලයින් එකේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියන් නවත්තලා තිබ්බා. මගී දුම්රිය දෙක, දෙවන ලයින් එකේ සහ තුන් වන ලයින් එකේ සමාන්තරව සහ එකවර ධාවනය කරමින් තිබ්බා . කොරමන්ඩල් එක්ස්ප්‍රස් පීලි පැනීමට ලක්වුණේ ඇයි? ඒ වගේම භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ හැපුණේ කොහොමද කියන එක විමර්ශනය කළ යුතු කාරණයක්" ඔහු පැවසීය.

පීලි පැනීමට ලක් වූ දුම්රියේ මැදිරි, හවුරා සුපර්ෆාස්ට් හි පසුපස මැදිරි දෙකක ගැටීමෙන් එයද පීලි පැනීමට ලක් වූ බව ඔහු පැවසීය.

ඔඩීෂා ප්‍රාන්ත රජයේ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, සමස්තයක් වශයෙන්, මගී දුම්රිය දෙකේ මැදිරි 17ක් පීලි පැනීමට ලක්ව බරපතල හානි සිදුවී ඇති බවයි.

අනතුර සිදුවු ප්‍රදේශයේ ගම්වාසීන් සහ ඇසින් දුටු පුද්ගලයින් ද කියා සිටියේ දුම්රිය තුනක් අනතුරට ලක්වූ බවය.

අනතුරින් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවට අපේක්ෂා කෙරේ.

අනතුරට වගකිව යුත්තන්ට දඬුවම් දෙන බවට අගමැති මෝදිගෙන් ප්‍රතිඥා


මෙම මාරක දුම්රිය අනතුර සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින්ට "දැඩි දඬුවම්" ලබාදෙන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය.

අනතුර සිදුවු ස්ථානයට ගිය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ සිද්ධිය "වේදනාකාරී" එකක් බවය.

ඔහු රෝහල වෙත ගොස් තුවාල ලැබූවන්ද හමු වූ අතර, තම රජය "තුවාල වූවන්ට අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා කිසිදු ප්‍රමාදයක් වීමට ඉඩ නොතබන " බව කියා සිටියේය.

ඉන්දියාවේ දරුණු දුම්රිය අනතුරු


1981 ජූනි: සුළි කුණාටුවක් අතරතුර තදබදයෙන් පිරුණු දුම්රියක මැදිරි නවයෙන් හතක් ගඟකට වැටීමෙන් පුද්ගලයන් 800ක් පමණ මිය ගියහ.
1995 අගෝස්තු: දිල්ලියේ සිට කිලෝමීටර් 200ක් (සැතපුම් 125ක්) දුරින් දුම්රිය දෙකක් ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 350ක් මිය ගියේය.
1999 අගෝස්තු: කොල්කටා ආසන්නයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 285 දෙනෙකු මිය ගියේය.
2005 ඔක්තෝබර්: දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ දුම්රියක් පීලි පැනීමෙන් 77 දෙනෙක් මිය ගියහ.
2016 නොවැම්බර්: කාන්පූර් නගරය ආසන්නයේදී ඉන්දෝර්-පට්නා සීඝ්‍රගාමී දුම්රියේ මැදිරි 14ක් පීලි පැනීමෙන් පුද්ගලයන් 150කට ආසන්න පිරිසක් මිය ගොස් සමාන සංඛ්‍යාවක් තුවාල ලැබූහ.


"අනතුර සිද්ධ වෙච්ච වෙලාවේ මිනිස්සු 10 ක් 15 ක් මගේ ඇග උඩට වැටුණා.හැමදේම පාලනය නැතිව ගියා. මම හිටියේ මිනිස්සු ගොඩේ යටටම වෙන්න " දිවි ගලවා ගත් එක් පිරිමි පුද්ගලයෙකු පැවසුවේය.

"මගේ අතටයි මගේ බෙල්ලේ පිටිපස්සටයි තුවාල වෙලා තිබ්බා. මම කොච්චි පෙට්ටි යටින් එළියට එනකොට මම දැක්කා කෙනෙක්ගේ අතක් නැතිවෙලා තියෙනවා, තවත් එක්කෙනෙක්ගේ කකුලක් නැතිවෙලා, තව කෙනෙක්ගේ මුහුණ විකෘති වෙලා ගිහින්," දිවි ගලවා ගත් පුද්ගලයා ඉන්දියාවේ ANI පුවත් ඒජන්සිය වෙත පවසා තිබේ.

අනතුරින් පසු ඔඩීෂා ප්‍රාන්තයේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කෙරුණි.

 

yfsvs

ෂලිමාර් - චෙන්නායි අතර ධාවනය වෙමින් තිබු කොරොමැන්ඩල් එක්ස්ප්‍රස් දුම්රිය පසුගිය සිකුරාදා ඉන්දීය වේලාවෙන් රාත්‍රී 7.00ට පමණ (13.30 GMT) පීලි පැනීමට ලක්වී ඇති බව විශ්වාස කරන අතර, එහි දුම්රිය මැදිරි කිහිපයක් යාබද මාර්ගයේ නතර වී තිබේ.

යස්වන්ත්පූර් සිට හවුරා දක්වා ගමන් කරමින් තිබු තවත් දුම්රියක් වන හවුරා සුපර්ෆාස්ට් එක්ස්ප්‍රස් - එලෙස පෙරළුණු මැදිරිවල ගැටෙන්නට ඇතැයි සැලකේ.

සිද්ධියට අදාළ ස්ථානයේ නවතා තිබූ භාණ්ඩ දුම්රියක් ද මෙම අනතුරට සම්බන්ධ බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කොට ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා දී නැත.

අනතුරෙන් දිවි ගලවා ගත් ඇතැම් මගීන් සුන්බුන් අතර සිරවූවන් බේරා ගැනීමට යුහුසුළුව කටයුතු කරමින් සිටිනු අයුරු දක්නට ලැබුණි.

අනතුරෙන් තුවාල ලැබූ මගීන් ප්‍රවාහනය කිරීමට දේශීය බස් සමාගම් ද සහාය වෙමින් තිබේ.

BBC දකුණු ආසියානු කලාපීය සංස්කාරක අන්බරසන් එතිරාජන් පැවසුවේ ලෝකයේ විශාලතම දුම්රිය ජාලයක් ඇති ඉන්දියාව තුළ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අනුප්‍රාප්තික රජයන් ඩොලර් මිලියන සිය ගණනක් ආයෝජනය කළ ද අනතුරු බහුලව සිදුවන බවයි.

BBC

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website