ඉරිදා, 07 අප්‍රේල් 2024 14:17

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමට ඇත්තේ තව කිලෝමීටර් 23ක් පමණයි Featured

2028 වන විට අපි ශ්‍රී ලංකාව බිම්බෝම්බ හා පුපුරා නොගිය යුද්ධෝපකරණ වලින් තොර රටක් බවට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ තවත් උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමට ඇත්තේ කිලෝමීටර් 23 ක පමණ ප්‍රමාණයක පමණක් බවයි.

බිම්බෝම්බ තිබූ සමස්ථ භූමියෙන් කිලෝමීටර් 1340.87 ක ප්‍රදේශයක බිම් බෝම්බ සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවත්, එම ප්‍රදේශයෙන් බිම්බෝම්බ 2,492,081 ක් සොයාගෙන විනාශ කර ඇති බවත් ඇමතිවරයා කීය.

උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කර සිවිල් පුරවැසියන්ගේ අනාගත සුරක්ෂිතතාවය පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බවද ඇමතිවරයා පැවසීය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ ලෝක බිම්වෙඩි දින ජාතික උත්සවයට ඊයේ (06) සහභාගී වෙමිණි. මෙම උත්සවය කිලිනෝච්චිය මධ්‍ය මහා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

ලෝක බිම්වෙඩි දිනය අප්‍රේල් 04 වැනිදාට යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් වැඩසටහන් රැසක් “බිම්වෙඩි පිළිබද ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය” විසින් සංවිධානය කර තිබුණි. බිම්බෝම්බ ඉවත් කරන රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන අතර සුහඳත්වය වර්ධනය කිරීම සඳහා ක්‍රිකට් තරගාවලියක් සහ කාන්තාවන් සඳහා කඹ ඇඳීමේ තරගයක් පැවැත්වුණි.

බිම්බෝම්බ ඉවත් කිරීමට පුහුණුව ලද සුනඛයන්ගේ විශේෂ ප්‍රදර්ශනාත්මක වැඩසටහන හා බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුත්ත සඳහා යොදා ගන්නා උපකරණ මෙහිදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සඳහන් කළේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන අවසන් වීමත් සමඟම මෙහි සේවය කරන 3,000කට අධික සිවිල් ජනතාවගේ ජීවනෝපාය මාර්ග ඇති කිරීම සඳහා විශේෂ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර ඇති බවයි.

2002 වසරේ සිට බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන දිවයින තුළ ක්‍රියාත්මක වන අතර 2010 වසරේදී ඒ සඳහා ‘බිම්වෙඩි පිළිබද ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය’ආරම්භ කෙරිණ. පසුගිය කාලය තුළ මෙම මධ්‍යස්ථානය විවිධ අමාත්‍යංශයන් යටතේ ක්‍රියාත්මක වු අතර වර්තමානයේ එය ක්‍රියාත්මක වන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නැවත පදිංචි කිරීමේ අංශය යටතේයි. බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතන සම්බන්ධීකරණය, මෙහෙයවීම හා අධීක්ෂණය එමගින් සිදුකරනු ලබයි.
මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව සෘජු දායකත්වයක් ලබා දෙන අතර ශ්‍රී ලංකා යුධ හමුදා මානුෂ්‍යවාදී බිමි වෙඩි ඉවත් කිරීමේ ඒකකය හරහා එය සිදු ‍කෙරේ. ඊට අමතරව අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධාන දෙකක් වන හලෝට්‍රස්ට් හා මැග් හා දේශීය රාජ්‍ය නොවන සංවිධාන දෙකක් වන ඩෑෂ් හා ෂාෆ් විසින් මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදු කරනු ලබයි.

මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා රජය විසින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ මානුෂ්‍යවාදී බිමි වෙඩි ඉවත් කිරීමේ ඒකකයට මූල්‍යාධාර ලබා දෙයි. මෙම වැඩසටහන සදහා ආධාර සපයනු ලබන ජාත්‍යන්තර ආයතනවලින් අනෙක් රාජ්‍ය නොවන සංවිධාන 4 සඳහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 17.5 ක මුදලක් සපයනු ලබයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු වත්මන් රජය උතුරු නැගෙනහිර ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශේෂ පියවර රැසක් රැගෙන ඇති බව මෙහිදී පෙන්වා දුන් ඇමතිවරයා තවමත් ආරක්ෂක අංශ සතු උතුරේ ජනතාවගේ ඉඩම් ජාතික ආරක්ෂාවට හානියක් නොවන පරිදි එහි මුල් අයිතිකරුවන්ට ලබා දීම සඳහා වෙනම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවද කීවේය.

සිංහල, දෙමළ, මුස්ලිම් සියළුම ජනතාව ශ්‍රී ලාංකීකයන් ලෙස සාමයෙන් සමාදානයෙන් ජීවත් වීම ආණ්ඩුවේ අපේක්ෂාව බවත් එය කඩාකප්පල් කිරීමට උත්සාහ දරණ උතුරේ හෝ දකුණේ ජාතිවාදී ආගම්වාදී සංවිධාන හෝ පුද්ගලයින්ට නොරැවටෙන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇමතිවරයා කීවේය.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්.සත්‍යානන්ද යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

DMN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website