බදාදා, 16 අගෝස්තු 2023 13:13

ලෝක නායකයින් තලිබාන් සංවිධානය සමග සාකච්ඡා ඇරඹිය යුතු ද? Featured

තලිබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ බලය අල්ලාගෙන වසර දෙකක් ගත වී ඇතත්, ඔවුන්ගේ පාලනය කිසිදු රටකින් නිල වශයෙන් පිළිගෙන නැත.

තලේබාන් රජය සමග සබඳතා පැවැත්වීම පවා තවමත් අතිශය මතභේදාත්මක ය. ඔවුන් සමග සාකච්ඡා කිරීම වෙනසක් ඇති කිරීමට උපකාරී වනු ඇති බව ඇතැමුන් පවසන අතර, තලේබාන්වරුන් කිසි විටෙක ත් වෙනස් නොවන බව ත් එබැවින් සාකච්ඡා කිරීමෙන් ඵලක් නොවන බව ත් තව ත් සමහරු තරයේ පවසති.

ඇෆ්ගනිස්ථානයේ නව පාලකයන් සමග කටයුතු කරන්නේ කෙසේ ද? යන්න තීරණය කිරීමට ලෝකය අරගල කරන විට, කාන්තා අයිතිවාසිකම් - ඔවුන්ගේ රූපලාවණ්‍යාගාර පවා - දේශපාලන සටන්වල ​​ප්‍රමුඛත්වයට පත්ව ඇත.

රූපලාවණ්‍ය ශිල්පිනියක වන සකීනා - මඳ ආලෝකයක් ඇති, පසෙකින් තොල් අලංකාර කරන පැන්සල් ගොන්නක් සහ ඇස් අලංකාර කරන වර්ණ සහිත තැටි ඇති, තදින් තිර ඇද ඇති කාමරයක් තුළ සිට - ආවර්ජනා කරන්නේ, තමා වැනි කාන්තාවන් කේවල් කිරීමේ ඇමක් බවට පත්ව ඇතැයි තමන්ට හැඟෙන්නේ ඇයි ද? යන්න පිළිබඳව ය.

"තලිබාන් සංවිධානය කාන්තාවන් පීඩාවට පත් කරන්නේ ඔවුන්ගේ පාලනය පිළිගන්න කියලා ජාත්‍යන්තර ප්‍රජාවට බලපෑම් කිරීමට යි," ඇය කාබුල් නුවර අලුතින් ආරම්භ කළ සිය රහස් රූපලාවණ්‍යාගාරයේ සිට ඇය පවසයි.

සියලු ම කාන්තා රූපලාවණ්‍යාගාර වසා දමන ලෙසට රජය නියෝග කිරීමෙන් පසු සති දෙකකට පෙර ඇයට සිය රූපලාවණ්‍යාගාරය පොළව යටට ගෙන යාමට සිදු විය. එය ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ ජීවිත සහ නිදහස සීමා කරන නිමක් නැති අණපනත්වලින් එකකි.

තලිබාන් සංවිධානය සම්බන්ධයෙන් කුමන ආකාරයේ ප්‍රවේශයක් සාර්ථක වේදැයි සකීනාට නිශ්චිත අදහසක් නැත.

"තලිබාන් සංවිධානය රජය විදිහට පිළිගත්තොත්, එක්කෝ ඒගොල්ලෝ අපට පනවපු සීමා අයින් කරයි, එහෙම නැත්නම් ඒගොල්ලෝ තව ත් සීමා පනවයි," යනුවෙන් ඇය පවසන්නේ, මෙම දැවැන්ත, සංවේදී දේශපාලනික අර්බුදය හේතුවෙන් ඇති වූ අවිනිශ්චිතභාවයෙන් සහ කනස්සල්ලෙන් යුතුව ය.

තලිබාන් සංවිධානය ස්ථිර වශයෙන් කියා සිටින්නේ, කාන්තා අයිතීන් වැනි කරුණු ලෝක ප්‍රජාවට අදාළ කරුණු නොවන බව ය.

තලිබාන් උත්තරීතර නායක හයිබතුල්ලාහ් අඛුණ්ඩ්සාඩාගේ උපන් බිම වන ඇෆ්ඝනිස්ථානයේ කන්දහාර් නගරයේ සිට බීබීසී සේවයට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, "වත්මන් රජය පිළිගන්න තිබුණේ ගොඩක් කාලෙකට කලින්. අපි සමහර දේවල් දියුණු කරලා තියෙනවා. ඒ වගේ ම, මේ ප්‍රශ්නය ත් අපි විසඳනවා."

තලිබාන් රජය සමග සාකච්ඡා කළ යුතු ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් බොහෝ ප්‍රජාවන් අතර තියුණු බෙදීමක් පවතී.

ඊට 2021 අගෝස්තු 15 වන දා තලිබාන් සංවිධානය බලයට පත්වූ විට - දෙවන වරට ත් - තම රටෙන් පලා යාමට බල කෙරුණු අතිශයින් කම්පනයට පත්වූ සහ තවමත් කම්පනයට පත්ව සිටින ඇෆ්ගන් ඩයස්පෝරාව ද ඇතුළත් වේ.

"සාකච්ඡා කරන්න එපා කියන එක ලේසි යි," ෆාතිමා ගයිලානි පවසයි. ඇය, තලිබාන් සංවිධානය බලය අල්ලා ගන්නා මොහොත දක්වා ම ඔවුන් සමග සාකච්ඡා කිරීමට උත්සහ කළ ඇෆ්ගන් කණ්ඩායමේ සිටි කාන්තාවන් හතර දෙනාගෙන් එක් අයෙකි.

"සාකච්ඡා කරන්නෙ නැතුව, වෙන මොනවා කරන්න ද?"

පෙර පැවති රජය බිඳ වැටීමෙන් පසු, ඇය රහස් ක්‍රියාන්විතයන්හි නිරත වී සිටියා ය.

"අපට තව ත් යුද්ධයක් එපා", බලහත්කාරයෙන් වර්තමාන පාලනය පෙරළා දැමීමේ බලාපොරොත්තුව තවමත් තබාගෙන සිටින හිටපු හමුදාපතිවරුන් සහ පැරණි යුද්ධ ප්‍රධානීන්ගේ හඬට සවන් දෙමින් ඇය අවධාරණය කරයි."මේ එක දෙයක් ගැන විතරක් අවධානය යොමු කරන එක නිදහසට කරුණු කීමක් විතර යි," තලිබාන් ප්‍රකාශක සබිහුල්ලාහ් මුජාහිඩ් පවසයි.

f4eydfgd 2

ඇෆ්ගනිස්ථානය තුළ දරිද්‍රතාව ඉහළ යාම හේතුවෙන්, පරිත්‍යාග ලෙස ලැබෙන පාන් ලැබෙන තුරු පවුල් වැඩි ගණනකට කාබුල්හි බලා සිටීමට බල කෙරී ඇත.

ඩයස්පෝරාවට අයත් සෙසු ඇෆ්ගනිස්ථාන වැසියෝ තවදුරට ත් සම්බාධක සහ සංචාරක තහනම් පනවා දැඩි පීඩනයක් ඇති කර හුදෙකලාභාවය වැඩි කරන ලෙස ඉල්ලමින් සිටිති‍.

"මැදිහත් වෙන එකේ තේරුම මොකක් ද?" පිටුවහල්ව සිටින කාන්තාවන්ගේ ප්‍රමුඛත්වයෙන් යුත් පුවත් ආයතනයක් වන Zan Timesහි ප්‍රධාන කර්තෘ සහ නිර්මාතෘ වන සාරා නාඩර් විමසයි. "ඔවුන් කවුද කියලා ඔවුන් පෙන්නලා තියෙනවා. ඒ වගේ ම, ඔවුන් පෙන්නලා තියෙනවා මොන වගේ සමාජයක් ද ඔවුන් බිහි කරන්නේ කියලා."

සාකච්ඡාවල නිරතව සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් අවධාරණය කරන්නේ, මැදිහත්වීම පිළිගෙන නොමැති අතර, මෙතෙක් පෙන්වීමට ඇත්තේ සුළු දෙයක් බව ය.

එහෙත්, වයස්ගත වූ අතිශය ගතානුගතික උත්තරීතර නායකයා විසින් පනවන ලද අතිශය අන්තගාමී ආඥාවන් සමග, ජ්‍යෙෂ්ඨ තලිබාන් නායකයින් අතර පවා, අතෘප්තියේ සලකුණු, දුර්වල බලාපොරොත්තු දැල්වෙමින් තිබේ.

"සාකච්ඡා කිරීමට කැමති ඇෆ්ගන් ජාතිකයන් සමග පුළුවන් හොඳ ම ආකාරයෙන් සාකච්ඡා කරන්නේ නැත්නම්, ජනගහනයෙන් විශාල කොටසක් අත්‍යවශ්‍යයෙන්ම සිරගත කිරීමට කැමති අයට අපි නිදහස් පාලනයක් ලබා දෙන්නෙමු," යනුවෙන් මධ්‍යම මට්ටමේ තලිබාන් නියෝජිතයින් සමග මෑතදී පැවැත්වූ රැස්වීම්වලට සම්බන්ධ වූ බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයෙක් පවසයි.

කටාර් අගමැති මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල් තානි සමග අඛුණ්ඩ්සාඩා අතර මෑත පෙර නොවූ විරූ හමුවීමක් පැවති බවට මූලාශ්‍ර මගින් හෙළි වී තිබේ. උත්තරීතර නායකයා විදේශ නිලධාරියෙකු සමග පැවැත්වූ පළමු හමුව මෙය යි. විශේෂයෙන් අධ්‍යාපනය සහ කාන්තා අයිතීන් සම්බන්ධයෙන් පුළුල් පරතරයක් ඇති බව තහවුරු වුව ද, සෙමෙන් ඉදිරි මගක් සොයා ගැනීමේ හැකියාවක් ද පෙන්නුම් කළ බව සාකච්ඡා ගැන විස්තර කළ රාජ්‍ය තාන්ත්‍රිකයෝ පවසති.

පොදු පදනමක් සොයා ගැනීම දුෂ්කර වී ඇති හෙයින් සාකච්ඡා දුෂ්කර වී තිබේ.

"අවුරුදු ගාණක් එකිනෙකා සමග සටන් කළ පාර්ශ්ව අතර දැඩි අවිශ්වාසයක් සහ පිළිකුලක් පවා ඇති වී තිබෙනවා," Afghanistan Analysts Networkහි කේට් ක්ලාර්ක් පවසයි. "තලිබාන්වරු හිතාගෙන ඉන්නෙ බටහිරට තවමත් ඔවුන්ගේ ජාතිය විනාශ කිරීමේ වුවමනාවක් තියෙනවා කියලා. ඒ වගේ ම, බටහිර රටවල් කාන්තා අයිතිවාසිකම් පිළිබඳ තලිබාන් ප්‍රතිපත්තියට යි, ඔවුන්ගේ අත්තනෝමතික පාලනයට යි කැමති නැති බව ත් ඔවුන් හිතනවා."

දෙපර්ශවය අතර මූලික බිඳ වැටීමක් ගැන ක්ලාර්ක් පැහැදිලි කරයි: "බටහිර රටවල් පිළිගැනීම කියන්නේ සහනයක් කියලා සැලකුව ත්, තලිබාන්වරුන් හිතන්නේ අමෙරිකාවේ සුපිරි බලය දෙවන වරට ත් පරාජය කළාට පස්සේ දෙවියන් රට පාලනය කරන්න අයිතියක් තමන්ට දුන්නා කියල යි."

ආදායම් එකතු කිරීම ඉහළ නැංවීමට බලපෑ ලද දූෂණයට එරෙහි මර්දනය සහ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම විසින් එල්ල කරන ලද ආරක්ෂක තර්ජන මැඩපැවැත්වීමේ සමහර ප්‍රයත්නයන් සැලකිල්ලට ගැනීමේදී, බාහිර බලවත්තු ප්‍රගතිය සම්බන්ධයෙන් විවේචන සහ ප්‍රශංසා තුලනය කරති. එමෙන් ම, බටහිර බලවතුන් ඉස්ලාමීය රටවල් සහ විද්වතුන් දෙස බලා සිටින්නේ තලේබාන්වරුන්ගේ ඉස්ලාම් අන්තවාදී අර්ථකථනයන් පිළිබඳ අවධානය යොමු කරන තෙක් ය.

එහෙත්, උපක්‍රමවල රළු ස්වභාවයක් ද පැවතිය හැකි ය.

පොදු උද්‍යාන, කාන්තා ව්‍යායාම මධ්‍යස්ථාන සහ රූපලාවණ්‍ය මධ්‍යස්ථාන පවා තහනම් කරමින් තලේබාන්වරුන් කාන්තාවන් කෙරෙහි දුෂ්ටත්වය දැඩි කරන බැවින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා දැන් "ලිංග භේද වාදය" ගැන කතා කරයි. "මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ" සඳහා නඩුවක් ගොනු කිරීමට දැන් පියවර ගනිමින් පවතී.

gegddc 3

දැන්වීම්වලින් නිරූපිකාවන්ගේ මුහුණු ඉවත් කරන ලෙස තලිබාන් සංවිධානය වෙළෙඳසල් හිමියන්ට නියෝග කර තිබේ

කලාපීය සහ බටහිර රටවල් අතර මිශ්‍ර පණිවුඩ සහ ඇතැම්විට ඝට්ටන තිබියදී, මේ වන විට රුසියාව සහ චීනය ඇතුළු ලෝක බලවතුන් අතර සීමා අතර සිට අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව දුර්ලභ රැස්වීම් පවතී

මෙම ව්‍යාකූල තත්ත්වය සාමාන්‍ය ඇෆ්ගන් වැසියන්ට විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාව, තද පැහැති අකුරුවලින් අවධාරණය කර ඇත්තේ, පරිත්‍යාගශීලීන් ඉවත් වන හෙයින් ඔවුන්ගේ මානුෂීය ආධාර සම්බන්ධ ආයාචනයෙන් හතරෙන් එකක් පමණක් ජූලි මස අග වන විට සපයනු ලබන බව ය. තවතවත් ඇෆ්ඝනිස්ථාන වැසියෝ කුසගින්නේ ම නින්දට යති.

නිවාසවලින් 84%ක් ආහාර මිල දී ගැනීම සඳහා පමණක් මුදල් ණයට ගන්නා බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඉස්ලාමීය රාජ්‍යය වැනි ඉස්ලාමීය කණ්ඩායම් වර්ධනය වෙමින් පැවතීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වී තිබේ.

තලිබාන් රජය සිහින ලෝකයක් මවමින් සිටී. පිළිගැනීමකින් තොරව වුව ද, අනන්‍ය වූ සාම්ප්‍රදායික හිස් වැසුම් සහ කබායෙන් සැරසුණු නියෝජිතයන් අගනුවර රැසක රැස්වීම් සඳහා සහභාගි වන්නේ, ලෝකයේ වැඩියෙන් ම ගුවන් ගමන් යන්නන් ලෙසිනි.

වැඩබලන විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකි දිනපතා ම පාහේ, කොඩි සහ නිල ඡායාරූප සහිත කාමරවල සුපුරුදු ක්‍රමවේදයන් අනුගමනය කරමින් කාබුල් වෙත පැමිණෙන නියෝජිත පිරිස් හමුවෙති.

යුරෝපීය සංගමයේ කුඩා කාර්යාලයක් සහ ජපාන තානාපති කාර්යාලය හැර කාබුල්හි බටහිර තානාපති කාර්යාල සියල්ල වසා දමා තිබේ. කිසියම් බලපෑමක් කිරීමට අවශ්‍ය නම් අවම වශයෙන් මේ වන විට ගල්ෆ් කලාපයේ පිහිටි කටාර් රාජ්‍යයේ සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් කාබුල් වෙත පැමිණිය යුතු ද යන්න පිළිබඳව සාකච්ඡා පැවැත්වේ.

වසර 40ක් පැවති මේ යුද්ධයේ තවත් ලේ තැවරුණු පරිච්ඡේදයක් ඇති වනු දැකීමට ලෝකයේ කිසිදු රටක කැමැත්තක් නැත.

තලිබාන් නායකයින් අතර යම් මතභේදකාරී තත්ත්වයක් පැවතිය ද, ඔවුන් අතර පවතින එකමුතුකම අන් සියල්ලට ම වඩා වැදගත් ඉලක්කයක් ලෙස පවතී.

ඉක්මන් හෝ පහසු විසඳුම් නොමැත.

"මට මගේ හදවතින් ම කියන්න පුළුවන් එක ම දෙය යි මට තියෙන්නේ. ඒ තමයි, අපි ඇත්තට ම දුක් විඳිනවා," රූපලාවණ්‍ය ශිල්පිනී සකීනා පවසයි.

"අපි අතර නැති අයට මේ තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්, ඒත් මේක ඇත්තට ම වේදනාකාරී යි.".

 ලයිස් ඩූසේ
ප්‍රධාන ජාත්‍යන්තර මාධ්‍යවේදී

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website