සදුදා, 18 සැප්තැම්බර් 2023 09:47

පිටසක්වල ජීවීන් මෝසාන් ගේ තවත් එක් මායාවක්ද ? Featured

අභ්‍යවකාශ ජීවීන් පිළිබඳව වූ හොලිවුඩ් සිත්තමක අත්දැකීමක් පසුගිය අඟහරුවාදා මැක්සිකෝ පාර්ලිමේන්තුවට යථාර්ථයක් විණි.

නන්නාඳුනන පියාඹන ද්‍රව්‍ය පිළිබඳ දිගු කාලීන රසවතකු වූ මෙක්සිකානු මාධ්‍යවේදී ජේම් මෝසාන් සහ වෝහාර විද්‍යාඥ වෛද්‍ය ජෝස් බෙනිටෙස් විසින් පාර්ලිමේන්තු සභිකයන් ඉදිරියට රැගෙන ආ පිටසක්වල ජීවීන් දෙදෙනාගේ මමීකෘත වූ අජීවී සිරුරු එරට පාර්ලිමේන්තුව පමණක් නොව මුළු ලොව ම කැළඹීය. ඇතැමුන් ඒ පුවත සත්‍යයක් ලෙස පිළිගත් අතර තවත් පිරිසකට එය සැක කළයුතු පුවතක් විය. පිටසක්වල ජීවීන්ගේ යැයි සැලකෙන ඉතා කුඩා අජීවී සිරුරු දෙක වීදුරු පෙට්ටියක සුරැකිව තබා තිබිණි. මමීකෘත ජීවීන්ගේ අතක ඇගිලි තුනක් විය. හිස් ඉදිරියට දික්වී තිබූ අතර අස්ථි පද්ධතිය සැහැල්ලු විය. මොවුන්ට දත් නො තිබිණි. මානව හැඩතල තිබුණ ද දිගු හිස්කබල සහ ගෙල පක්ෂියකු ගේ ලක්ෂණ විද්‍යමාන කරන්නේය.

★ පොසිලගත සිරුරු හමුවී සය වසරක්

මෝසාන් පවසන අන්දමට මේ පොසිලගතවී තිබුණු පිටසක්වල ජීවීන් දෙදෙනාගේ සිරුරු හමුවී තිබුණේ 2017 වසරේදී පේරුහි කුස්කෝ (Cusco) ප්‍රදේශයෙනි. රේඩියෝ කාබන් නිර්ණ පරීක්ෂාවට අනුව මේවා වසර 1800 ක් පමණ පැරැණිය.

මෙක්සිකෝවේ නැෂනල් ඔටෝනොමස් සරසවියට අනුව ජීවීන් දෙදෙනා ගේ සිරුරු සාම්පලවල අන්තර්ගත ඩීඑන්ඒ (DNA) සියයට 30කටත් වඩා වැඩි ප්‍රතිශතයක් අප්‍රකට බව විද්‍යාඥයන් පැවසූ බව මෝසාන් විසින් කියා තිබෙයි. එක්ස්කිරණ ඡායාරූපවලින් පෙනී යන අන්දමට එක් ජීවී සිරුරක බිත්තර හෝ ඩිම්බකෝෂවලට සමාන දෙයක් දක්නට ලැබී ඇත. අනෙක් සිරුරේ ඉතා දුලබ ලෝහයක් වන ඔස්මියම් රෝපණය කර තිබිණි.

★ මීට පෙරත් රැවටිලා

මහසමනයපටබ

පිටසක්වල ජීවීන් පිළිබඳව මෙක්සිකෝවෙන් වාර්තා වුණු ප්‍රථම අවස්ථාව මෙය නොවෙයි. මීට පෙර 2015 වසරේදී ද පේරු රටේ නස්කා ප්‍රදේශයෙන් මමීකෘත පිටසක්වල ජීවියකු ගේ යැයි සැක කළ හැකි සිරුරක් හමුවූ අතර පසුව එය මිනිස් දරුවකු ගේ බව හෙළිවිණි. දරුවන් මිය ගිය විට හිස රෙදිවලින්, ලී පටිවලින් එතීමේ චාරිත්‍රයක් අතීතයේ තිබී ඇති අතර ඒ චාරිත්‍රය හේතුවෙන් මමියේ හිස විකෘති වී තිබිණි.

★ අමෙරිකාවේ විද්වතුන්ට මෙය මපට් එකක් වගෙයි

හඳුනා නොගත් පියාඹන ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ අමෙරිකානු ජාතික නාවික ලුතිනන් රයන් ග්‍රේව්ස්, මෙක්සිකානු කොංග්‍රසයට ඉදිරිපත් කළ මානව නොවන සිරුරු නිරවද්‍යතාව ඔප්පු කළ නොහැකි ප්‍රෝඩාවක් බව පවසයි. ඔහු මෙය විද්‍යාවේ විශාල පසුබෑමක් ලෙස හුවා දක්වයි. මේ ප්‍රතිචාරයෙන් තමන් කනගාටුවට පත්වූ බව මෝසාන් පවසා තිබෙයි. එහෙත් මෙක්සිකානු වෛද්‍ය බෙනිටෙස් අමෙරිකානු විද්‍යාඥයන්ට අභියෝග කරමින් කියා සිටින්නේ මමිකෘත වූ පිටසක්වල ජීවීන්ගේ ශරීර කොටස්වල සාම්පල රැගෙන ගොස් පර්යේෂණ කරන ලෙසට ය.

පසුගිය 27 වසර ගණනාව පුරා පිටසක්වලට සම්බන්ධ සිදුවීම් 800කට වඩා වාර්තා වී තිබුණ ද සැක කළ හැකි සිදුවීම් වාර්තා වී තිබුණේ 2% – 5% ක් තරම් වූ සුළු ප්‍රතිශතයකි.

නාසා ආයතනය තාක්ෂණික මෙවලම් යොදා ගෙන සෞරග්‍රහ මණ්ඩලයේ දියුණු ශිෂ්ටාචාර පවතිනවා ද ඉපැරැණි ක්ෂුද්‍රජීවීන් ගේ පොසිල තිබෙනවාද කියා සොයා බලමින් සිටියි. මේ පර්යේෂණ ප්‍රතිඵල අනුව පිටසක්වල ජීවීන් පිළිබඳව පෘථිවියේ මැවෙන කතාවල නිරවද්‍යතාව ගැන කිව හැකි වනු ඇත. අමෙරිකානු බලධාරීන් මෑතක සිට විද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය (UAP | Science Mission Directorate) ගැන දැඩි විමසිල්ලකින් සිටින්නේ සිය ආරක්ෂාවට එය තර්ජනයක් විය හැකි බවට සැක කරන බැවිනි.

★ කවුරුන්ද මේ ජේම් මෝසාන්?

ාටෙබඩබඩබඩ

ඔහු දැන් හැත්තෑ හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකි. ඔහු මෙක්සිකෝවේ නැෂනල් ඔටෝනෝමස් සරසවියෙන් සහ අමෙරිකාවේ මියාමි සරසවියෙන් ජනමාධ්‍යය හදාරා ඇති අතර කලක සිට පෘථිවියට ආගන්තුක වන පියාඹන ද්‍රව්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන හා ඒ පිළිබඳ මේනියාවකින් පසුවන අයෙකි. ජේම් පස්වරක්ම ලොවට පිටසක්වල ජීවීන් ලෙස මිනිස් සහ සත්ත්ව මමීන් පෙන්වා තමන් බොරුකාරයකු බව ඔප්පුකර ඇත. මෙවර ද ඔහු පාර්ලිමේන්තුවට රැගෙන ආ මමීකෘත පිටසක්වල ජීවීන්ගේ යැයි පවසන සිරුරුවල සැබෑව ලොවට ම විහිළුවක් වීමට ඉඩ තිබෙයි. මෙක්සිකෝවේ නැෂනල් ඔටෝනෝමස් සරසවියේ තාරකා භෞතික විද්‍යාඥ සහ විද්‍යා සන්නිවේදිකාවක වන ජුලියේටා නෝමා ෆියෙරෝ පාර්ලිමේන්තු සිදුවීමට පසුදින පවසා සිටියේ මෝසන් ගේ තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නැති බව ය.

මේ සියල්ලේන් ම පැහැදිලි වන්නේ පිටසක්වල ජීවීන් යනු තවමත් හොලිවුඩ් සිත්තමක පණ ලබන චරිත පමණක් වන බව ය.

අන්තර්ජාලයෙනි
චම්පිකා දීපානි රණසිංහ

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website