බදාදා, 27 සැප්තැම්බර් 2023 11:17

ඓතිහාසික උසාවි නියෝගයක් ලබා ගෙන ජනප්‍රිය හින්දි නළු අනිල් කපූර් කෘත්‍රිම බුද්ධියට පාඩමක් උගන්වයි Featured

සිය නම, ප්‍රතිරූපය ඇතුළු පෞද්ගලිකත්වයට අදාළ ගුණාංගයන් සම්බන්ධයෙන් කෘත්‍රිම බුද්ධිය යොදාගැනීම වැළැක්වීම සඳහා ඓතිහාසික උසාවි නියෝගයක් ලබා ගැනීමට ජනප්‍රිය හින්දි සිනමා නළු අනිල් කපූර්ට හැකි වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

අනිල් කපූර් සිය නීතිඥවරයා වන අමීත් නායික් හරහා ඉන්දියාවේ දිල්ලි මහාධිකරණයේ පැවරූ නඩුවක් මගින් ලොව පුරා කිසිදු මාධ්‍යකට හෝ ආයතනයකට තම නම, ප්‍රතිරූපය, කැමැති දෑ, හඬ ඇතුළු සිය පුද්ගලිකත්වයට සම්බන්ධ කිසිදු කරුණක් අවභාවිත කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය යොදාගැනීම වළක්වන උසාවි නියෝගයක් ලබා ගෙන ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

අනිල් කපූර් විසින් දිල්ලි මහාධිකරණයේ පවරන ලද නඩුවට අදාළව ඉදිරිපත් කළ පෙත්සමකින් ඔහුගේ පුද්ගලික ගුණාංගයන් ඩිජිටල් මාධ්‍යයන් මගින් අවභාවිත කළ අවස්ථා පෙන්වා දී තිබේ. මේ සම්බන්ධයෙන් විස්තරාත්මක නඩු විභාගයක් පැවැත්වීමෙන් පසු දිල්ලි මහාධිකරණය ඉකුත් බදාදා උසාවි නියෝගයක් නිකුත් කරමින් අනිල් කපූර් නමැති සිනමා නළුවාගේ පෞද්ගලික අයිතීන් සුරකිමින් ඔහුගේ කිසිදු පෞද්ගලික ගුණාංගයක් අවසර නොමැතිව අවභාවිත කිරීම තහනම් කර තිබේ. මෙම උසාවි නියෝගය ලොව සෑම රටකටම බලපාන අයුරින් නිකුත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වන අනිල් කපූර් උසාවි නියෝගය තමන්ට වාසිදායක වන අයුරින් නිකුත් වීම පිළිබඳව බෙහෙවින් සතුටු වන බව පවසයි. මෙම උසාවි නියෝගය තමන්ට පමණක් නොව අනිකුත් නළුවන්ටත් ප්‍රයෝජනවත් බව පෙන්වා දී ඇති හෙතෙම දිනපතාම නවීන තාක්ෂණික මෙවලම් හරහා වාණිජමය අරමුණු වෙනුවෙන් බොහෝ පුද්ගලයන්ට අයත් ගුණාංගයන් අවභාවිත වන බව අවධාරණය කර තිබේ. අනිල් කපූර් කෘත්‍රිම බුද්ධියට එරෙහිව නඩුමගට පිවිසියේ 1985 වසරේ ඔහු රඟපෑ ‘යුද්’ චිත්‍රපටයේ භාවිත කළ ‘ජකාස්’ (නියමයි හෝ දුෂ්ට යන අරුත ගෙන දෙන) යන වදන විවිධ වීඩියෝ පට හා ඉමෝජි හරහා සමාජ මාධ්‍ය ජාලයන් තුළ සංසරණය වීමේ සිද්ධිය පාදක කරගනිමිනි.

ඒමන්ති මාරඹේ

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website