සිකුරාදා, 29 සැප්තැම්බර් 2023 14:42

ප්‍රේක්ෂක ආදරය දිනු හැරී පොටර් හි 'මහාචාර්ය ඩම්බල්ඩෝර්' අභාවප්‍රාප්ත වෙයි Featured

ශ්‍රීමත් මයිකල් ගැම්බොන් බ්‍රිතාන්‍යයේ සිටි අද්විතීය රංගන ශිල්පීන්ගෙන් අයෙකු විය.

ඔහු රූපවාහිනිය සහ සිනමාව ඔස්සේ සාර්ථකත්වයේ හිනි පෙත්තට ම ගමන් කළ ද, ඔහුගේ ප්‍රේමිය වූයේ වේදිකාව යි.

ෂේක්ස්පියර්ගේ නාට්‍ය රැසක් සඳහා විශිෂ්ට රංගන දායකත්වයක් සැපයූ ඔහු 'ඉන්ස්පෙක්ටර් මේග්‍'රේ ලෙස රූපවාහිනියේ පෙනී සිටි අතර, වරක් ජේම්ස් බොන්ඩ්ගේ චරිතය සඳහා තිර පරීක්ෂණයකට ද සහභාගී විය.

ඔහු හැරී පොටර් චිත්‍රපටවල ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ චරිතයට පණ පෙවීමත් සමග ඔහු වටා ජාත්‍යන්තර රසිකයින් එක්රොක්වීම ආරම්භ විය.

මයිකල් ජෝන් ගැම්බොන් 1940 ඔක්තෝම්බර් 19 වන දා ඩබ්ලින්හි ඉන්ජිනේරුවෙකුගේ සහ මැහුම් ශිල්පිනියකගේ පුතෙකු ලෙස උපත ලැබීය.

දෙවන ලෝක යුද සමයේ ජර්මනිය එක්සත් රාජධානියට බෝම්බ හෙලීමෙන් පසු, ඔහුට වයස අවුරුදු පහේ දී ඔහුගේ පියා අගනුවර ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා ලන්ඩනයට සංක්‍රමණය විය. ගැම්බොන්, ඔහුගේ පවුල නැවතත් කෙන්ට් වෙත යාමට පෙර හයිගේට්හි සාන්ත ඇලෝෂියස් විද්‍යාලයයේ ඉගෙනුම ලැබුවේ ය.

fhghpiලන්ඩනයේ ජාතික රඟහලේ සුළු චරිත ගණනාවක් රඟපා තිබිණි

ඔහුගේ පියා ඔහු බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවට පත්කළ අතර, එනිසා, පසුකලෙක ඔහු ලද නයිට් පදවිය ගරු තනතුරක් නොව සියලු වරප්‍රසාද හිමි පදවියක්බවට පත්විය.

පාසල් විය ඔහුගේ ජීවිතයේ දුෂ්කර කාල පරිච්ඡේදයක් විය. ඒ සම්බන්ධයෙන් "මට කිසිම සුන්දර මතකයක් නෑ,"යි ඔහු පැවසූ අතර, වයස අවුරුදු 15 දී පාසල් ගමනට තිත තබා විකර්ස් සමාගමේ ආධුනික මෙවලම් තනන්නෙකු ලෙස රැකියාවක් ලබාගත්තේ ය.

ඔහු තුළ වූ යම් දෙයක් ඔහු සෑම විට ම රංගනය වෙත ආකර්ෂණය කළ අතර, ඔහු උද්යෝගිමත් සිනමා රසිකයෙකු බවට පත්විය. නමුත් 20 වන වියට එළඹෙන තුරු ම ඔහුට වේදිකාවට සම්බන්ධ වෘත්තියක සක්‍රීයව නියැළීමට නොහැකි විය.

'ටිකක් මහතයි'
ඔහු විවිධ නාට්‍ය සමාගම්වලට ලිපි ලිවීම ආරම්භ කළේ, රංගන ශිල්පියෙකු ලෙස ඔහු තුළ ඇතැ යි මවා ගෙන සිටින දස්කම් විස්තර කරන අතිශයෝක්තියෙන් යුක්ත ජීව දත්ත පත්‍රිකා ද ඒ සමග යවමිනි. අවසානයේ, ඔහු ලන්ඩනයේ ජෝර්ජ් බර්නාඩ් ෂෝ නාට්‍යයක ප්‍රධාන චරිතය රඟ පෑ බවට කළ ප්‍රකාශයේ සත්‍යතාව පරීක්ෂා නොකළ, ඔහුගේ උපන් ගම වන ඩබ්ලින්හි ගේට් රඟහල විසින් ඔහුට කනිෂ්ඨ රැකියාවක් පිරිනමන ලදී.

ඔතෙලෝ නිෂ්පාදනයක් සඳහා යුරෝපයේ සංචාරය කිරීමෙන් පසු, ගැම්බොන්, ලෝරන්ස් ඔලිවියේ යටතේ ජාතික රඟහලට සම්බන්ධ විය. එහිදී ඔහුට ඩෙරෙක් ජැකොබි සහ ෆ්‍රෑන්ක් ෆින්ලේ ඇතුළු ජනප්‍රිය තරු සමග වේදිකාව බෙදා ගනිමින් සහය චරිත ගණනාවකට පණ පෙවීමට අවස්ථාව ලැබිණි.

තරුණ ගැම්බොන් ඔහුගේ අත්දැකීම් පුළුල් කර ගැනීමට අවශ්‍යයැ යි යෝජනා කළේ ඔලිවියේ ය. එබැවින්, 1967 වසරේ දී ඔහු බර්මින්හැම් නාට්‍ය සමාගමට සම්බන්ධ වූ අතර එහිදී ඔහුට ඔතෙලෝ, මැක්බත් සහ කොරියෝලනස් නිෂ්පාදනවල ප්‍රධාන චරිත ඇතුළු ප්‍රමුඛ චරිත තෝරා ගැනීමට ඉඩ සැලසිණි.

fjgvnnvnvvThe Borderers හි ඔහු රඟ දැක්වූ චරිතය ජේම්ස් බොන්ඩ් සඳහා තිර පරීක්ෂණයට සහභාගී වීමට මඟ පෑදීය

දහසයවන ශතවර්ෂයේ ස්කොට්ලන්තය පසුබිම්කර ගත් බීබීසී රූපවාහිනී කතා මාලාවක් වන The Borderersහි ඔහුගේ අද්විතීය රංගනය දුටු කබී බ්‍රෝකලී, ජේම්ස් බොන්ඩ් කතා මාලාවට ෂෝන් කොනරි සමුදීමට ගත් තීරණයත් සමග එහි නව චිත්‍රපටය වූ On her Majesty's Secret Service සඳහා තිර පරීක්ෂණයකට සහභාගී වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේ ය.

ගැම්බොන්ගේ බොන්ඩ් චරිතය කෙසේ විය හැකි ද යන්න මෙනෙහි කිරීම හාස්‍යජනක ය. එය චරිතය ජේම්ස් බොන්ඩ්ට වඩා ජෝර්ජ් ස්මයිලි ලෙස පිළිඹිබු විය හැකිව තිබුණි. එය භාර ගැනීමට ඔහු තුළ එතරම් උද්යෝගයක් ද නොවී ය. "මට ලස්සන කොණ්ඩයක් නැහැ. මම ටිකක් මහතයි," ඔහු බ්‍රෝකලීට පැවසීය. එහි ප්‍රතිඵලයක් ලෙස එම චරිතය ජෝර්ජ් ලෑසන්බි වෙත පිරිනැමිණි.

වේදිකාව වෙනුවෙන් ඔහු කළ කැපකිරීම්වල ඵල ලැබුණේ, 1974 වසරේ දී ඇලන් ඒකබෝන්ගේ කොටස් තුනකින් සමන්විත The Norman Conquests හි ටොම්ගේ චරිතයට පණ පෙවීමට ලැබීමෙනි. වෙස්ට් එන්ඩ්හි වේදිකාගත වූ එම නිර්මාණය වෙත ගලා ආ ප්‍රශංසනීය ප්‍රතිචාර ඔහුට විශිෂ්ට කුසලතා ඇති විකට නළුවෙකු ලෙස කීර්තියක් අත්කර ගැනීමට පිටිවහලක් විය.

ෆැන්ටසි ලෝකයක්
තව ද 1978 වසරේ දී සවුත් බෑන්ක්හි දී වේදිකාගත වුණු පීටර් හෝල්ගේ නිෂ්පාදනයක් වුණු හැරල්ඩ් පින්ටර්ගේ Betrayal නාට්‍යයේ ජෙරීගේ චරිතය සඳහා ඔහු තව තවත් ප්‍රශංසාවට ලක් විය.

වසර දෙකකට පසුව, 17 වන සියවසේ ඉතාලි ජාතික විද්‍යාඥයෙකුගේ ජීවිතය අලලා බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් ගෙනහැර දක්වන ලද 'ද ලයිෆ් ඔෆ් ගැලීලියෝ' වේදිකා නාට්‍යයේ ඔහුගේ විශිෂ්ට ඉදිරිපත් කිරීමක් දක්නට ලැබිණි. එක් විචාරකයෙකු ඔහුගේ ඉදිරිපත් කිරීම විස්තර කළේ, "හැඟීම් විරහිත, භයානක සහ අතිමහත් බලවත්" ඉදිරිපත් කිරීමක් ලෙස ය. එමෙන් ම, ඔහු රංගනය අවසන් කර නේපථ්‍යාගාරය වෙත යන තුරු ම සෙසු නළු නිළියන් අත්පොළසන් හඬ නැගූ බවට ද වාර්තා විය.

1986 වසරේ දී විකාශය කෙරුණු ඩෙනිස් පෝටර්ගේ ටෙලි නාට්‍යයක් වන The Singing Detectiveහි බීබීසී නිෂ්පාදනය ඔහු පුළුල් ප්‍රේක්ෂක පිරිසක් අතරට ගෙන ගියේ ය. සංකීර්ණ සහ අඳුරු වෘතාන්තයක් වන එය දැන් බ්‍රිටිෂ් ටීවී ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

gfhhfhfhThe Singing Detective ඔහු ජනප්‍රිය චරිතයක් බවට පත් කළේ ය

චර්ම හා සන්ධි රෝගයක් හේතුවෙන් ඔත්පළව සිටි, ඔහු රහස් පරීක්ෂකයෙකුයැ යි ෆැන්ටසියක් මවා ගෙන සිටි අභිරහස් රචකයෙකුගේ භූමිකාව වෙනුවෙන් ගැම්බොන් බැෆ්ටා සම්මානයක් දිනා ගත්තේ ය.

ඔහු 1989 වසරේ දී පීටර් ග්‍රීන්වේගේ අඳුරු, අපරාධ ප්‍රහසන චිත්‍රපටයක් වන The Cook, the Thief His Wife & Her Lover හි ප්‍රචණ්ඩ මැරයෙකු වන ඇල්බට් ස්පයිකා ලෙස රඟපෑ අතර, සහ 1990 දශකය පුරාවට ම තවත් ප්‍රධාන චිත්‍රපට භූමිකා ගණනාවකට සම්බන්ධ විය. ඒවා අතර ඔහු රොබින් විලියම්ස් සමග රංගනයෙන් දායක වුණු Toys මෙන් ම, Plunkett & Macleane, Sleepy Hollow සහ Gosford Park විය.

ඔහු ජෝර්ජස් සිමෙනොන්ගේ කෘති ඇසුරෙන් අයිටීවී නිෂ්පාදනය කළ කතා මාලා දෙකක් දක්වා දිව ගිය ටෙලි නිර්මාණයක 'ඉන්ස්පෙක්ටර් මේග්‍රේ' ලෙස ද රඟ දැක්වීය.

පෙන්ගුයින්ලා දෙදෙනෙක්
නමුත් රිචඩ් හැරිස්ගේ අභාවයෙන් පසු ඔහුට උරුම වූ චරිතයක් වූ හැරී පොටර් චිත්‍රපට හයක මහාචාර්ය ඩම්බල්ඩෝර් ලෙස පෙනී සිටීමේ දී පවා, ඔහු සිනමාව ඔහුගේ වේදිකා රංගනය තරම් බැරෑරුම් ලෙස සැලකුවේ නැත.

"මට මම රඟපාපු එක චිත්‍රපටයක්වත් මතක නැහැ," ඔහු වරෙක පැවසීය. "ඔබ එකකින් තවත් එකකට යනවා. ඒ හැම එක ම එකට එකතු වෙලා මහ ගොඩක් [මතක] හැදෙනවා. මට හැරී පොටර් මතක මම ඇඳපු ඇඳුම නිසා. සිල්ක් ඇඳුම් තට්ටු දෙකකුයි සැපපහසු සෙරෙප්පු යි. හරි ම සුවපහසුයි."

ඔහු වේදිකා රංගන හරහා තෘප්තිමත් වීම නැවතුණේ නැත. 2001 වසරේ හැරල්ඩ් පින්ටර්ගේ The Caretaker නාට්‍යයේ ඩේවිස් ලෙස රඟපෑ අතර 2005 වසරේ අවසානයේ ජාතික රඟහලේ දී Henry IV නාට්‍යයේ 1 සහ 2 යන කොටස්වල ෆෝල්ස්ටාෆ් ලෙස රඟ දැක්වීමට ඔහු තුළ වූ අභිලාෂය අවසානයේ දී ඉටුකර ගත්තේ ය.

vnvmvmvm2005 වසරේ දී ඔහුට අවසානයේ ෆෝල්ස්ටාෆ් චරිතය රඟ දැක්වීමට වරම් ලැබිණි

2010 වසරේ දී ඔහු ඔහුගේ රංගන දිවිය ආරම්භ කළ ඩබ්ලින්හි ගේට් රඟහල වෙත ආපසු පැමිණ, බෙකට් ක්‍රැප්ගේ Last Tapeහි රඟපෑවේ ය. එය අවසානයේ ලන්ඩනයේ වෙස්ට් එන්ඩ් (ලන්ඩනයේ ඉහළ පෙළේ ප්‍රදේශයක්) වෙත ගිය නාට්‍යයක් විය.

ජේන් ඔස්ටින්ගේ Emmaහි බීබීසී අනුවර්තනයක මිස්ටර් වුඩ්හවුස්ගේ චරිතය ඇතුළු ටෙලි නාට්‍ය ද ඒ අතර විය. ඒ සඳහා ඔහු එමී සම්මානයෙන් පිදුම් ලැබී ය.

ඔහුගේ කටහඬට දැඩි ඉල්ලුමක් විය. ඔහු, පෙන්ගුයින්ලා දෙදෙනෙකු ඇතුළත් වූ ජනප්‍රිය ගිනස් බීර වෙළෙඳ දැන්වීමක කථකයා වූ අතර වීඩියෝ ක්‍රීඩා ගණනාවකට ඔහුගේ සුවිශේෂී කටහඬ ලබා දුන්නේ ය. එමෙන් ම, 2017 වසරේ නිකුත් වූ Paddington නිෂ්පාදනයේ පැඩිංටන්ගේ මාමා, පැස්ටුසෝ සඳහා හඬ කැවූයේ ද ඔහු ය.

'වේදිකාවෙන් ඇද වැටුණා'
ඔහුට දෙබස් මතක තබා ගැනීම වඩ වඩාත් දුෂ්කර වූ බැවින්, 2015 වසරේ දී ඔහු වේදිකාවෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශ කළේ ය. වේදිකාවේ පසෙක සිට දෙබස් මතක්කර දීමේ ක්‍රමවේදය සඳහා ඔහු ඔහුට ම වෙන් වූ ශ්‍රවණ උපකරණයක් භාවිත කර අත්හදා බැලීමක් කළ ද එය රංගනය වෙත අවධානය යොමු කිරීමට බාධා පමුණුවන බව ඔහු අවබෝධ කර ගත්තේ ය.

කෙසේ වෙතත්, ඔහුගේ රූපවාහිනී සහ චිත්‍රපට කටයුතු අඛණ්ඩව සිදු වූ අතර, 2016 වසරේ නිකුත් වුණු Dad's Armyහි චිත්‍රපට අනුවාදයක ප්‍රයිවෙට් ගොඩ්ෆ්‍රේගේ චරිතය ඇතුළුව විනෝදජනක ඔත්තු බලන්නෙකු වටා ගෙතුණු ප්‍රහසන චිත්‍රපටයක් වන Johnny English Strikes Agaiහි ඒජන්ට් ෆයිව් ලෙස, The Hollow Crown නම් ෂේක්ස්පියර්ගේ නාට්‍යයක රූපවාහිනී අනුවාදයක මෝටිමර් ලෙස, සහ 2019 වසරේ තිරගත වූ Cordelia චිත්‍රපටයේ මෝසස් ලෙස ඔහු ඔහුගේ අවසන් භූමිකාව රඟ දැක්වීය.

රංගනය හැරුණුකොට, ඔහු පෞරාණික වටිනාකමින් යුතු ගිනිඅවි හා ඔරලෝසු එකතු කර ප්‍රතිසංස්කරණය කළේ ය. පැරණි මෝටර් රථ ලෝලියෙකු ද වූ ඔහු 2002 වසරේ දී Top Gear වැඩසටහනකට ද සහභාගී විය. එම වැඩසටහනේ දී ඔහු "reasonably priced car" එකක් පැදවූ ප්‍රකට අවස්ථාවේ දී ධාවන පථයේ අවසන් වංගුව රෝද දෙකකින් පමණක් පසුකර යන අයුරු දිස්විය. නිෂ්පාදකයින් ඉන් කෙතරම් උද්දාමයට පත්වූවා ද යත්, ඔවුහු එම වංගුව ඔහුගේ නමින් නම් කිරීමට පියවර ගත්හ.

hkyiහැරී පොටර් චිත්‍රපට ඔහු ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් අතරට ගෙන ගියේ ය

ඔහු 1998 වසරේ දී නයිට් පදවියක් ලද ද, ඇතැම් රංගන ශිල්පීන් මෙන් නොව ඔහු කිසි විටෙකත් එම පදවි නාමය භාවිතා නොකළේ ය. ප්‍රසිද්ධිය ඔහුට එතරම් වැදගත් නොවූ අතර ඔහු කිසි විටෙකත් මහජන ආකර්ෂණය පසුපස හඹා යාමට උත්සහ නොකළ අයෙකු විය. ඔහු හැකි සෑම විට ම සම්මුඛ සාකච්ඡා මඟහැරියේ ය.

මාධ්‍යවේදීන් ඔහු අල්ලාගෙන ප්‍රශ්න කළ අවස්ථාවන්හි දී ඔහුගේ ජීවිතය පිළිබඳ විශ්වාස කළ නොහැකි ආකාරයේ කතා පැවසීමට ඔහු හුරුව සිටියේ ය. ඔහුගේ නව පෙම්වතිය බොට්ස්වානාහි ප්‍රබල පුද්ගලයෙකුගේ අඩි හයක් උස දියණියක බව වරෙක ටයිම්ස් පුවත්පතට පැවසු ඔහු, රාජකීය බැලේ කණ්ඩායමේ ඔහුගේ වෘත්තිය ගමන අවසන් වූයේ ඔහු වේදිකාවෙන් ඇද වැටීම නිසා බව ඉතා අවාසනාවන්ත මාධ්‍යවේදියෙකුට පැවසුවේ ය.

බොහෝ විචාරකයින් මයිකල් ගැම්බොන් විශිෂ්ට චරිතාංග නළුවෙකු ලෙස හැඳින්වූ නමුත් එය ඔහු විසින් බැහැර කරන ලද ගුණනාමයකි. "මම රඟපාන හැම චරිතයක් ම මගේ පෞරුෂයේ එක් ආකාරයක් පමණයි," ඔහු වරෙක කීවේ ය. "මෙතන සැබෑ චරිතාංග නළුවෙක් නෑ, ඉන්නේ මම විතරයි."

bbc

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website