සදුදා, 09 ඔක්තෝබර් 2023 09:45

හමාස් ත්‍රස්තයෝ ඊශ්‍රායලයට හතරවටින්ම පහර දෙති Featured

● 500ක් මරුට – 2000 කට තුවාල

● 50ක් පැහැරගෙන ගාසා තීරයට ගෙන ගිහින්
● එක් දිනකදී රොකට් ප්‍රහාර පන්දහසක්

ඊශ්‍රායලයට ඉතිහාසයේ එල්ලවූ දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී ඇත. හමාස් සංවිධානය විසින් දකුණු ඊශ්‍රායලයේ නගර කිහිපයක් වෙත ගුවනින්, ගොඩබිමින් හා මුහුදෙන් පැමිණ මේ ප්‍රහාරය එල්ල කර ඇත.

ඊශ්‍රායල භූමියට ඇතුළුවී සිටින ත්‍රස්ත කණ්ඩායම් විනාශ කිරීමේ මෙහෙයුම් ඊයේ (08 දා) දිනයේ ක්‍රියාත්මක වෙමින් පැවතිණි. සෙනසුරාදා (07 දා) පෙරවරු හතට පමණ එල්ලවූ මෙම ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියන් පන්සියයකට වැඩි පිරිසක් පමණ මියගොස් තවත් දෙදහසක් පමණ තුවාල ලබා ඇත.

හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයකු ද තුවාල ලබා ඇත.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ හමාස් ත්‍රස්තයන්ට එරෙහිව තම රට යුද්ධයක් ආරම්භ කර ඇති බවයි. සෙනසුරාදා ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 250 ක් පමණ මියගොස් තවත් දෙදෙහසක් පමණ තුවාල ලබා තිබිණි.

ඊශ්‍රායලයේ නගරවලට ප්‍රහාර එල්ල කළ හමාස් සාමාජිකයන් සිවිල් වැසියන් හා හමුදා සාමාජිකයන් පනස්දෙනකු පමණ පැහැරගෙන ගාසා තීරයට ගෙනගොස් ඇත. මේ අතර වැඩිහිටි කණ්ඩායම් හා කුඩා දරුවන් ද වේ.

හමාස් සංවිධානය විසින් පාලනය කරන ගාසා තීරයේ සිට සෙනසුරාදා පස්වරුවේ ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර පන්දහසක් එල්ල කර ඇත.

ඊශ්‍රායලය පුරා සයිරන් නාදවෙමින් පවතින අතර එරට හමුදාව නිවේදනය කළේ ත්‍රස්තවාදීන් ඊශ්‍රායල භූමියේ විවිධ ස්ථාන වෙත රිංගා ඇති බවය.

හමාස් සංවිධානය විසින් පළ කරන ලද වීඩියෝවල ඊශ්‍රායල හමුදාව සතු වාහන හා යුද ටැංකි මේ කණ්ඩායමේ ග්‍රහණයට ගෙන ඇති බව පෙනී යයි. එසේම මරා දමන ලද හමුදා සාමාජිකයන්ගේ සිරුරු ද මොවුන් ප්‍රදර්ශනය කර තිබේ.

ඊශ්‍රායල් නගරවල වීදි පුරා හමාස් සාමාජිකයන් හමුදාව හා පොලිසිය සමඟ එළිපිට වෙඩි හුවමාරු කරගන්නා අයුරු ද දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

එසේම හමාස් සාමාජිකයන් විසින් ඊශ්‍රායලයේ ප්‍රධාන හමුදා නිලධාරියකු වන මේජර් ජෙනරාල් හිම්රෝද් අලෝන ජීවග්‍රහයෙන් අල්ලාගෙන ගාසා තීරයට ගෙනගොස් ඇත. මෙය එරට හමුදාවට බලවත් නිග්‍රහයට කාරණයකි. මේ පැහැර ගැනීම ඊශ්‍රායල හමුදාව නිල වශයෙන් පිළිගෙන නැතැයි එරට මාධ්‍ය මගින් තහවුරු කර තිබේ.
චතුර පමුණුව

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website