සිකුරාදා, 10 නොවැම්බර් 2023 10:33

කම්හලක ජරමරයක්: පෙට්ටියක් කියා රැවටිලා රොබෝ සේවකයකු මරලා Featured

දකුණු කොරියාවේ කෘෂිකාර්මික නිෂ්පාදන කර්මාන්තශාලා ගුදමක සේවයේ යොදවා සිටි රොබෝ යන්ත්‍රයක් සිය කටයුතු අධීක්ෂණය කරමින් සිටි සේවකයකු පෙට්ටියක් යැයි වරදවා හඳුනාගෙන යන්ත්‍රයක් වෙත තද කිරීමෙන් පෙරේදා (08දා ) මරා දමා ඇති බව දකුණු කොරියාවේ යොන්හැප් ප්‍රවෘත්ති සේවය විසින් වාර්තා කර තිබේ.

දකුණු කොරියාවේ දකුණු දිගින් පිහිටි ග්යියොන්ග්සෑන්ඩ් පළාතේ පිහිටි කෘෂිකාර්මික නිෂ්පාදන අපනයන සමාගමක් වන ‘ඩොන්ග්ගොසියොන්’ කෘෂිකාර්මික අපනයන සංකීර්ණයට අයත් බෙදා හැරීමේ ගුදමක සේවයේ යොදවා සිටි රොබෝ යන්ත්‍රයක් බෙල් පෙපර් අඩංගු පෙට්ටි ඔසවමින් සිටියදී ගුදමේ කටයුතු නිරීක්ෂණය කරමින් සිටි වයස අවුරුදු 40 ගණනක පසු වූ සේවකයකු පෙට්ටියක් යැයි වරදවා හඳුනාගෙන සිය අතකින් අදාළ සේවකයාගේ සිරුරේ උඩු කොටස පෙට්ටි ගමන් ගන්නා යන්ත්‍රයකට තල්ලු කර ඇති බව එම ප්‍රවෘත්ති සේවය කියයි. එසේ යන්ත්‍රය වෙත තල්ලු කර ඇති සේවකයා යන්ත්‍රයේ පටියක මුහුණ හා පපුව ගැටීමෙන් දරුණු තුවාල ලබා රෝහලගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ. මෙසේ මියගොස් ඇති පුද්ගලයාට ගුදමේ අධීක්ෂණ කටයුතු සිදු කිරීමට පැවරී ඇත්තේ ඉකුත් අඟහරුවාදා (06 දා) වුවද අදාළ රොබෝ යන්ත්‍රයේ සංඥා පද්ධතියේ තිබූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් එම කටයුත්ත දින දෙකකට පසු ඔහුට සිදු කිරීම පැවරී තිබේ. මෙම සිදුවීමෙන් පසු අදාළ ගුදම අයත් සමාගමේ නිලධාරියකු පවසා ඇත්තේ නිශ්චිත ආරක්ෂක පද්ධතියක් කම්හල් ගුදමේ ස්ථාපිත කිරීම අවශ්‍ය බවයි. ඉකුත් මාර්තු මාසයේ ද දකුණු කොරියාවේ වාහන අමතර කොටස් නිපදවන කම්හලක සේවය කළ වයස අවුරුදු 50 ගණන්වල පසු වන පුද්ගලයකු රොබෝ යන්ත්‍රයකට කොටු වීම හේතුවෙන් දරුණු තුවාල ලබා තිබිණි.

ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website