අඟහරුවාදා, 21 නොවැම්බර් 2023 10:02

ඊශ්‍රායල හමුදා තවත් රෝහලක් වටලයි Featured

සති 06ක් ගතවී ඇති බියකරු ගාසා මෙහෙයුමේ ඉමහත් ආන්දෝලනයකට ලක්වූ ගාසා නගරයේ අල් ෂිෆා රෝහල වටලෑම සාධාරණීයකරණය කිරීමට ඊශ්‍රායලය, හමාස් සංවිධානයට අලුත් චෝදනාවක් එල්ල කළේය.

ඒ හමාස් සංවිධානය පැහැරගත් ඊශ්‍රායල සෙබළියක, රෝහල තුළදී ඝාතනය කළ බවට සහ එහි ප්‍රාණ ඇපකරුවන් රැගෙන ආ බවට සාක්ෂි පවතින බව පවසමිනි.

එම සෙබළිය ඊශ්‍රායල හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇය මිය ගිය බවයි හමාස් සංවිධානය ප්‍රකාශ කර තිබුණේය.

හමාස් සංවිධානය ඇගේ සිරුර දැක්වෙන වීඩියෝ පටයක්ද නිකුත් කර තිබූ අතර එහි ඇගේ හිසට සිදුවූ තුවාලයක්ද දක්නට ලැබුණි.

කෙසේ නමුත් ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් ඇයට මාරාන්තික තුවාල සිදුවිය නොහැකි බවත්, ඇය හමාස් සංවිධානය විසින් රෝහල තුළදී ඝාතනය කළ බවට තොරතුරු පවතින බවත් ඊශ්‍රායලය ප්‍රකාශ කළේ වැඩිදුර විස්තරයක් සඳහන් නොකරමිනි.

හමාස් සංවිධානය විදේශීය ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු අල් ෂිෆා රෝහලට රැගෙන ආ බවට තොරතුරු පවතින්නේ යැයිද පවසන ඊශ්‍රායලය ඊට අදාළ වීඩියෝ පටයක්ද නිකුත් කරනු ලැබීය.

එහෙත් හමාස් සංවිධානය පවසන්නේ ප්‍රාණ ඇපකරුවන් ඇතැම්විට ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් වෙත රැගෙන ගිය බවයි.

මීට අමතරව අල් ෂිෆා රෝහලට මීටර් 10ක් පමණ ගැඹුරින් මීටර් 55ක් පමණ දිගු උමඟක් සොයාගත් බව ප්‍රකාශ කළ ඊශ්‍රායලය ඊට අදාළ වීඩියෝවක්ද නිකුත් කළේය.

කෙසේ නමුත් අල් ෂිෆා රෝහල් පරිශ්‍රයේ හමාස් භූගත උමං මාර්ගයක් සොයාගත් බව පැවසීම සම්පූර්ණයෙන් අසත්‍ය, ගොතන ලද්දක් බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ගාසා නගරය යට හමාස් සංවිධානයේ දැවැන්ත භූගත උමං ජාලයක් ඇති බව ඊශ්‍රායලය ප්‍රකාශ කළද හමාස් සංවිධානය පවසන්නේ එම උමං, රෝහල් ඇතුළු සිවිල් යටිතල පහසුකම්වලට සම්බන්ධ නොමැති බවයි.

මේ අතර අල් ෂිෆා රෝහල් අතිශය ඛේදනීය තත්ත්වයක් දක්නට පැබෙන අතර එහි මළ සිරුරු ගොඩගැසී ඇති බව වාර්තා වෙයි.

මේ අතර අල් ෂිෆා රෝහලෙන් ඉවත් කරගත් නොමේරූ බිළිඳුන් 31 දෙනා ඊජිප්තුවේ රෆාහි තාල් අල් සුල්තාන් රෝහලට ඇතුළු කර තිබේ.

බිළිඳුන් මේ වනවිට දරුණු ආසාත්මිකතාවන්ට ලක්ව සිටින අතර ඔවුන්ගෙන් 11දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි.

මේ අතර රෝහලේ බරපතළ තුවාල සහිතව ප්‍රතිකාර ලබමින් සිටි සෙසු රෝගීන් 250දෙනා සම්බන්ධ තොරතුරු මෙතෙක් අනාවරණ වී නැත.

මෙවන් පසුබිමක උතුරු ගාසාහි ඇති තවත් විශාල රෝහලක් වන ඉන්දුනීසියානු රෝහලට ඊශ්‍රායල ප්‍රහාර එල්ල වී තිබේ.

එහිදී 12 දෙනෙකු මියගොස් වෛද්‍යවරු දෙදෙනෙක් තුවාල ලැබූ බවද සඳහන් ය.

ඊශ්‍රායල යුද ටැංකි ගාසා නගරයේ ඉන්දුනීසියානු රෝහල වටලා ඇති බවත් හමුදාව ඊට ඇතුළුවීමට සූදානම්ව සිටින බවත් නවතම වාර්තා සඳහන් කළේය.

මේ අතර දකුණු ගාසාහි ඛාන් යුනිස් නගරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් එහි සරණාගත කඳවුරු ජලයෙන් යටවී ගොස් තිබේ.

ඒ හේතුවෙන් කඳවුර තුළ පාචනය වැනි රෝග ව්‍යාප්තිය වේගවත් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකතනය කරයි.

මේ අතර ඊශ්‍රායලයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක්, රතු මුහුදේදී පැහැරගත් බව යේමනයේ හූති කැරලිකරුවන් පවසයි.

ඊශ්‍රායලය පවසන්නේ, එහි තම පුරවැසියන් නොමැති බවයි.

බ්‍රිතාන්‍යය හිමිකාරිත්වයෙන් යුතු එම නෞකාව තුළ සිටින තම වැසියන් නිදහස් කරන්නැයි ජපානය අවධාරණය කරන්නේ මෙවන් පසුබිමකය.

මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් මැදපෙරදිගට එවූ ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශක බ්‍රෙට් මැක්ගර්ක්ගෙන් අරාබි නායකයන් ප්‍රශ්න කර ඇත්තේ ඊශ්‍රායලයට ජාත්‍යන්තර නීතිය අභිබවා කටයුතු කළ හැකිද යන්නය.

බහරේන මැනමා නුවර පැවති ආරක්ෂක සංවාදයකට අමෙරිකානු නියෝජිතයා සහභාගි වී ඇති අතර එහිදී ඔහු සමග ඍජුව විවාදයට පැටලී ඇත්තේ ජෝර්දාන විදේශ අමාත්‍ය අයිමාන් සෆාඩි බව වාර්තා විය.

ගාසා තීරයට මානුෂීය ආධාර ඉහළ නැංවීමට සහ සටන් නැවැත්වීමේ කාලය වැඩි කිරීමට නම් හමාස් සංවිධානය විසින් මුලින් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ යුතු බව අමෙරිකානු නියෝජිතයා පවසා තිබේ.

එහෙත් සමුළුවට සහභාගි වූ අරාබි නායකයන් ප්‍රකාශ කළේ ඊශ්‍රායලයට සිය බලය යොදවා ආරක්ෂාව තහවුරු කරගත නොහැකි බවයි.

ඔවුන් පවසන්නේ ඊශ්‍රායලය ගාසා තීරයේ සිදුකරන ඝාතන නොසලකා හැරීම නිසා ජාත්‍යන්තර නීතිය පිළිබඳ විශ්වසනීයත්වයද බිඳී ඇති බවයි.

 

DN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website