සෙනසුරාදා, 13 ජනවාරි 2024 08:40

පැපුවානිව්ගිනි රාජ්‍යයේ කෝලාහලවලින් 15ක් මරුට Featured

රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුපෙන් සියයට 50ක් දක්වා වූ ප්‍රතිශතයක් අඩු කිරීම සම්බන්ධව විරෝධය පළ කරමින් පැපුවානිව්ගිනි රාජ්‍යයේ පෙරේදා (10දා) හටගත් කැරළි කෝලහාල හේතුවෙන් පුද්ගලයන් 15 දෙනකු මියගොස් ඇති අතර කෝපයට පත් ජනතාව කඩසාප්පු, සුපිරි වෙළෙඳසල් හා මෝටර් රථ ගිනි තබමින්

කඩසාප්පු කොල්ලකෑම හේතුවෙන් අගනුවර වන පෝට් මෝස්බි නගරය යුද පිටියක් බවට පත්ව තිබූ බව වාර්තා වේ. ගිනිගෙන දැවෙන කඩසාප්පු හා සුපිරි වෙළෙඳසල්වලින් බොහෝ පිරිස් භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය කොල්ල කා රැගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. සිය මාසික වැටුප් පතෙන් සියයට 50ක් දක්වා වූ ප්‍රතිශතයක් රජය විසින් අඩු කරගෙන ඇති බවට චෝදනා කරමින් රජයේ සේවකයන් සියදහස් ගණනක් පෙරේදා රාත්‍රියේ පැපුවානිව්ගිනි රාජ්‍යයයේ අගනුවර වන පෝට් මෝස්බි නගරයේ වීථිවලට බැස කෝලහාල කිරීමට පටන් ගෙන ඇති අතර අනතුරුව එයට සෙසු මහජනතාවද එකතු වීම නිසා තත්ත්වය තවත් දරුණු වී ඇත. මෙම කැරළි කෝලහාල හේතුවෙන් මියගොස් ඇති පිරිසෙන් 08 දෙනකු පෝට් මෝස්බි නගරයේ වැසියන් වන අතර තවත් 07 දෙනකු ලායේ නගරයේ පදිංචිකරුවන් බව වාර්තා වී තිබේ.

ඉහළ යමින් පවතින උද්ධමනය හා විරැකියාව හමුවේ සිය වැටුප් පතෙන්ද රජය ගසා කා ඇති බව පවසමින් හටගත් මෙම කැරළි කෝලහාල හේතුවෙන් පැපුවානිව්ගිනි රජය විසින් පෝට් මෝස්බි අගනුවර ආරක්ෂාව තර කිරීම සඳහා හමුදාව කැඳවා තිබූ අතර ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කර ඇති අගමැති ජේම්ස් මරපේ පවසා ඇත්තේ පරිගණක දෝෂයක් මත රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් ඇමෙරිකානු ඩොලර් 100ක් දක්වා වූ මුදලක් කැපී ගොස් ඇති බවත් සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන පරිදි පනවා ඇති බදු වැඩි කිරීමට රජයේ කිසිදු සැළසුමක් නොමැති බවයි. මේ අතර පෝට් මෝස්බි නගරයේ තිබෙන චීන තානාපති කාර්යාලය පැමිණිල්ලක් ගොනු කරමින් පවසා ඇත්තේ නගරයේ තිබෙන චීන සාප්පුවලටද කැරළි කෝලහාලවලින් හානි සිදුව ඇති බවයි. පෝට් මෝස්බි නගරයේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය අසලටද වෙඩි පහර කිහිපයක් එල්ල වී ඇති බව වාර්තා වී තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website