බදාදා, 17 ජනවාරි 2024 16:05

හවුති මිසයිල මධ්‍යස්ථාන 13ක් විනාශ කරයි Featured

යේමනයේ පිහිටි හවුති කැරලිකරුවන්ගේ මිසයිල විදින මධ්‍යස්ථාන 13ක් සිය හමුදා ප්‍රහාරවලින් සම්පූර්ණයෙන් විනාශ කර දැමූ බව එංගලන්ත අගමැති රිෂි සුනක් පවසා තිබේ.

ඉකුත් සිකුරාදා (12) සිට ඇමරිකානු හා එංගලන්ත හමුදාවන් විසින් යේමනයේ සිට ක්‍රියාත්මක වන ඉරානයේ සහය ලබන හවුති කැරලිකරුවන්ගේ මිසයිල විදින මධ්‍යස්ථාන හා ගුවන් ආරක්ෂක මධ්‍යස්ථාන රැසකට ගුවනින් හා මුහුදෙන් පහර එල්ල කරමින් සිටින අතර එම ප්‍රහාරවලින් එම කැරලිකරුවන් සතු ආයුධ හා යුද උපකරණවලින් සියයට 25 ක් පමණ විනාශ කර දමා ඇති බව ඇමරිකානු -එංගලන්ත ආරක්ෂක ප්‍රධානීන් පවසා තිබේ.

මේ අතර හවුති කැරලිකරුවන් විසින් දිගින් දිගටම රතු මුහුදේ යාත්‍රා කරන නෞකාවලට මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ලොව දෙවෙනි විශාලතම ඉන්ධන සමාගම වන ‘කටාර් එනර්ජි’ සමාගම රතු මුහුද හරහා සිය නැව් යාත්‍රා කිරීම අත්හිටුවා ඇති අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කර තිබේ. මෙම ප්‍රහාරයන් හේතුවෙන් ලොව ප්‍රධාන පෙළේ නැව් සමාගම් විසින් සිය නෞකා රතු මුහුද හරහා ගමන් කිරීම අත්හිටුවා තිබීමෙන් එය ජාත්‍යන්තර ආර්ථිකයට බලපෑම් එල්ල කර ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහිව දියත් කර ඇති ප්‍රහාරයන්ට විරෝධය පළ කිරීමක් වශයෙන් හවුති කැරලිකරුවන් විසින් රතු මුහුදේ ඊශ්‍රායලයේ වරායන් වෙත යාත්‍රා කරන නැව්වලට ඉකුත් නොවැම්බර් මාසයේ සිට පහර එල්ල කරමින් සිටින අතර ඒ යටතේ ඇමරිකානු නැව්වලට ද පහර එල්ල වෙමින් පවතී. මේ අතර යේමන වෙරළබඩ තීරයේදී ඇමරිකානු භාණ්ඩ නැවකට හවුති කැරලිකරුවන් විසින් පෙරේදා (15) බැලිස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එමගින් වානේ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ‘බ්‍රෝල්ටාර් ඊගල්’ නෞකාවට සුළු හානි සිදුව තිබේ. ඇමරිකානු -එංගලන්ත හමුදා විසින් සිය මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කළද රතු මුහුදේ ගමන් ගන්නා ඊශ්‍රායල හිතවාදී නැව්වලට එල්ල කරන ප්‍රහාරයන් නතර නොකරන බවත් පලස්තීන ජාතිකයන්ට හා හමාස් සංවිධානයට සහය පළ කරමින් මෙම ප්‍රහාර එල්ල කරන බව හවුති කැරලිකරුවන් විසින් නිවේදනය කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website