බදාදා, 07 පෙබරවාරි 2024 09:44

අභ්‍යවකාශයේ වැඩිම කාලයක් ගත කළ රුසියානු ගගනගාමියාගෙන් ලෝක වාර්තාවක් Featured

අභ්‍යවකාශයේ වැඩිම කාලයක් ගතකරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට රුසියානු ගගනගාමියකු වන ඔලෙග් කොනොනෙන්කෝ සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔහු මේ වාර්තාව පිහිටුවා ඇත්තේ පස් වතාවක්ම අභ්‍යවකාශයේ මෙහෙයුම්වලට එක්වීමෙනි. ගුවන් ඉංජිනේරුවකු ලෙසත්, අණදෙන නිලධාරියකු ලෙසත් වසර දෙකහමාරක් පුරා විවිධ මෙහෙයුම් සඳහා ඔහු පෘථිවියෙන් පිට අභ්‍යවකාශයේ ගතකර ඇති කාලය දින 878කුත්, පැය 12ක් බව වාර්තා වේ. 59 හැවිරිදි ඔලෙග් විසින් බිඳ දමා ඇත්තේ මීට පෙර දින 878කුත්, පැය 11ක් සහ මිනිත්තු 29ක් අභ්‍යවකාශයේ ගතකරමින් රුසියාවේහිම ජෙනේඩි පඩල්කා විසින් තැබූ ලෝක වාර්තාව බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

පසුගියදා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී සිය ජයග්‍රහණය සැමරූ බවත්, ගගනගාමියකු ලෙස වැඩි කාලයක් අභ්‍යවකාශයේ ගතකිරීමට බලාපොරොත්තු වූයේ වාර්තා තැබීමට නොව එය කුඩා වියේ සිට තම සිහිනය බවට පත්ව තිබීම හේතුවෙන් බව ඔහු ප්‍රකාශ කර තිබේ.

ඔහු පසුගිය වසරේ සැප්තැම්බර් මස 15 වැනිදා සිට රුසියානු අභ්‍යවකාශ මෙහෙයුමක් සඳහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගොස් සිටින අතර, ලබන ජූනි මස 5 වැනිදා වන විට අභ්‍යවකාශයේ දින දහසක් සම්පූර්ණ කරනු ඇතැයි ද වාර්තා වේ.

ඔහු නැවත පෘථිවියට පැමිණීමට නියමිතව ඇත්තේ මේ වසරේ සැප්තැම්බර් මස 23 වැනිදා බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

DMN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website