ඉරිදා, 11 පෙබරවාරි 2024 09:51

තුවක්කු බයිනෙත්තු අතින් ගත් සොඳුරු ලියන් ගැවසෙන ජෙරුසෙලම Featured

පිරුණු සුදු පුලුන් ගොඩකින් එකිනෙකට වෙන්වූ නානාවිද හැඩ තල වලින් විසිරුණු නිල් අහස් ගැබට පාළුවක් නොවන්නට වග බලා ගන්නේ ශුද්ධ වූ ජෙරුසලමේ අසිරිය ලොවටම කියාපාන්නට වෙන්නට පුළුවන්.

දිය බුබුලක හැඩයකි හැඩවූ රනින් බැබළෙන “ඩෝම් ඔෆ් ද රොක්” අහස් කුස සිපගන්නේ ශතවර්ෂ ගණනාවක කතා මුමුනනවා වෙන්නට බැරි නැත. යුදෙව්, කිතුනු, ඉස්ලාම් යන ප්‍රධාන ආගම් තුන රෝපණය වූ මහා රුක්ෂ දේවතාවිය පැන නගින්නේද අති උතුම් ශුද්ධ වූ ජෙරුසලම කේන්ද්‍ර කරගෙනය. ඊශ්‍රායලය යන නම ඇසෙන විට යුද්ධයකට හපන්නු මෙන්ම ලෝකය මෙහෙයවන මහා මොළකරුවන්ගේ නිජබිමේ අගනුවර වන ජෙරුසෙලම මුහුදු මට්ටමේ සිට උස මීටර් 754 ක උසින් පිහිටා ඇත. තවද අප කවුරුත් දන්නා ලොවට සාමය ගෙනා ශුද්ධ වූ ජේසුස් වහන්සේ කුරුසට ඇන ගැසුව ස්ථානය ජෙරුසලමයි.

බටහිර ආසියාවේ පිහිටි සුන්දර ඊශ්‍රායලය බටහිරින් මධ්‍යධරණී මුහුදට හා ගාසා තීරයට මායිම් ව හා නැගෙනහිරින් ජෝර්දානෙන් පලස්තීනෙන් මෙන්ම උතුරින් ලෙබනනය හා සිරියාවට පහළින් පිහිටි ලංකාව මෙන් තුනෙන් එක් කොටසක් හිමි රතු මුහුදෙන් හා ඊජිප්තුවෙන් දකුණෙන් වට වී ඇත. පලබරින් හා නව නිෂ්පාදන රාශියක් ලොවට හඳුන්වා දෙන ඊශ්‍රායලය ලෝකයේ සෑම අතින්ම වැජඹෙන රටකි. හෙබ්‍රෙව් බස ප්‍රධාන භාෂාව වන අතර මිලියන නවයකට වඩා ජනතාවක් ජීවත් වෙයි. ශුද්ධ වූ ඊශ්‍රායලය යුදෙව්වන්ගේ දේශය යනුවෙනුත් නම් දරයි. බයිබලයේ “සියෝන්” යනුවෙන් අතීතයේ නම් කර ඇත්තේ ද ජෙරුසලමටය.

රතු, කහ, කලු, යන පාට එකතු කර අපගේ ලාක්ෂා කර්මාන්තයෙන් නිමවෙන සේසත් වගේම මුරායුද වල උල්වලට සමාන ගස් වලින් පිරුණු කඳු ශිඛරයන්ගෙන් ගහන වූ මේ ජෙරුසලම ගතට මෙන්ම ඇසටද සිසිලක් දැනෙන්නේ නිල්ල පිරුණු සිරියාව නිසාවෙනි.

විසල් නගරයේ ප්‍රධාන දුම්රිය නැවතුම්පළ, ප්‍රධාන බස් නැවතුම්පළ ඉතා ආසන්නයේ පිහිටුවූ නිසා හුදෙක් ජනතාවට පහසුවක් සලසයි. ප්‍රධාන පොදු ප්‍රවාහන මාධ්‍ය තුනක් ඇති ජෙරුසලම අතීත උරුමයන් සොයා ලෝකයේ නන් දෙසින් එන ඕනෑම කෙනෙකුට සිත පුරා ගත පුරා රස විඳින්න වන්දනා කරන්න ඉතාම පහසුය.

උරහිස් දෙකට පළලට පළල් වූ රවුම් කලු තොප්පියෙන් සැරසී දිගට වැවුණු රැවුලටත් වඩා කෝට්එක, කලිසම, සපත්තු යන ආයිත්තම් කලු පාටින් සැරසී යම් දිනක දෙවියන් වහන්සේ මේ බිමට වඩින බව සිතින් දරාගෙන බලාපොරොත්තු දෑසින් එහා මෙහා යන්නේ යුදෙව් ආගම කරපින්නා ගෙන මා ඉදිරියේ සිටින යුදෙව්වන්.

ඉඩඉඩඉඩඉඩඩටෙවර්තමාන ජෙරුසලමේ සංකේතවත් වන ඩේවිඩ් රජුගේ වීනාවට සමානව නිර්මාණ කර ඇති පාලම මතින් හෙමිහිට මා වෙත ඇදෙන මෙට්ට්‍රොක් දුම්රිය නොහොත් සැහැල්ලු දුම්රියේ ඉදිරියෙන් සට සට ගා පියඹා ගිය අළු පරවියන් දුම්රියේ වැදී නොවැදෙන ගාණටය. කිසිම තරගයක් නොමැතිව ඉවසීමෙන් අනෙකා පරයා මම කියන සිතිවිල්ලක් නොමැතිව කාන්තාවන්ට මුල් තැන දෙමින් හැමෝම සැහැල්ලු දුම්රියට ගොඩවිය. නැවතුම්පළ දෙක තුනක නැවතූ මේ සැහැල්ලු දුම්රිය ඊළඟ නැවතුම දමස්කස් ගේට් යනුවෙන් ශබ්ද වූ අතර විදුලි පුවරුවකද දර්ශනය වන්නට විය. විටෙන් විට හැරි හැරී වට පිට බැලූ මා ඉක්මනින් දොරක් ගාවට ළංවූයේ ඊළඟ නැවතුම්පළෙන් මා බැස යන්නට අවශ්‍ය නිසාවෙනි.

නවීන තුවක්කු කරේ දමාගෙන සියලු නවීන යුද ආයිත්තම් වලින් සමන්විත, උකුසු ඇස්වලට එහා යන තාරුණ්‍යයේ ලාලිත්‍ය පිරුණු සෙබළියන් මෙන්ම කඩවසම් සෙබළුන් සුන්දර ජෙරුසලමේදී නිතර ඇස ගැටෙන සාමාන්‍ය දෙයකි. තද කලු නැති කාක්කන් මෙන්ම ඒ මේ අත ඉගිලෙන ගේ කුරුළු රංචු බිම නොපෙනෙන තරම් වසා කෑම සොයන පරවියන් අතරින් කම්මැලි කමෙන් බේරෙන සීතලෙන් හැකිලිනු පූස් තඩියෙක් මාගේ කකුලේ වැදී නොවැදී ගියේ උදෑසන ආහාර වේල සප්පායම් වෙන්නට බැරි නැත.

දසවන සියවසේ සිට භාවිත කෙරුණු දමස්කස් දොරටුව ජෙරුසලමේ පැරණි නගරයේ පතාක ප්‍රධාන දොරටු වලින් එකකි. පඩි පෙළවල් රාශියක් තිබුණත් මාගේ ඇස් නිතරම ගියේ හතරැස් විශාල හුණු ගලින් ගලට, බටහිර ආසියාවේ ගෘහ නිර්මාණ ශිල්පයට ආවේණිකව සාදා ඇති මේ මුවදොර වෙතය. කාගෙත් සිත් ඇදගත් පුදුම වන මේ සුවිසල් දොරටුව පරම්පරා ගණනකගේ ඇස් ගැටුණු, මෙයට ආසන්නයෙන් දිවයන මාර්ගය අතීතයේ සිරියාවේ දමස්කස් නුවර දක්වා තිබී ඇති අතර අදටත් ලෝකයේ ඒ සුන්දර සාමය රැදුනානම් තවත් කොතරම් ලස්සන වෙයිද. චතුරශ්‍රයට ඉහළින් තිබෙන රෝම කුලුන ක්‍රි.වර්ෂ දෙවන සියවසේ මතකයන් තවමත් ආරක්ෂා කර ගෙන ඇති බව පෙනේ.

මා පසු කරන පාරම්පරික කඩවලට ඉහළින් ඇති ආරුක්කු අතීතයේ තිබුණු ශ්‍රී විභූතිය සුරකෙන්නට අඩ අඳුර උදව් කරන බව මට හැඟේ. මා මේ ඇවිදගෙන යන මේ මාර්ගයේ ශුද්ධ වූ ජේසුස් වහන්සේ කපාල කන්දේ සිට කල්වාරි කන්ද දක්වා කර මතින් විශාල කුරුසය රැගෙන යන විට මහන්සියට බිම හිඳ ගත් ස්ථාන දොළහක් නම් කර සලකුණු කර ඇති අතර මේ තැනට එන කෙනෙකුට එම ශුද්ධ වූ ස්ථාන දකින්නට පුළුවනි.

ලොව පුරා වෙසෙන කිතුනු බැතිමතුන්ගේ මුදුන් මල් කඩ වන කල්වාරි පල්ලිය, කුරුස පල්ලිය යන නම් වලින් සඳහන් කෙරුනත් ශුද්ධ වූ සෙපුල්චල් දේවස්ථානය නමින්ද සඳහන් වන මේ සුවිසල් පල්ලිය දුටු විට එක වරම හැඟුනේ මේ මට මෙන්ම දෙනෝදාහකට දිස් වෙන සෑම හුණු ගඩොලකම ශෝකය තැවරී ඇති බවය. කොන්ස්ටන්ටයින් නවවෙනි මෙනොමමෝස් අධිරාජ්‍යයා විසින් ඉදිකර ඇත්තේ තව යුග ගණනාවකට මේ ශුද්ධ වූ ස්ථානය නෙත ගැටෙන්නටය. ක්‍රි.වර්ෂ හතර වෙනි සියවසේ කිතුනු ධර්මය අදහන බැතිමතුන් සඳහා වැදගත් ම ස්ථානය වන්නේ ශුද්ධ වූ ජේසුස් වහන්සේ කුරුසයේ ඇන ගැසූ ස්ථානය මෙන්ම උන්වහන්සේ තැම්පත් කළ ස්ථානය හා උත්ථානය වූ යන වැදගත් සිද්ධි සිදුවූ මේ අති උතුම් ශුද්ධ වූ කුරුස පල්ලියයි.

ඉතා උසින් හා ශක්තිමත්ව ඉදිකර ඇති මේ පල්ලිය කහ පාටට ටිකක් ඇඳුරු ගතියකින් දිස්වෙන අතර ඇතුල් වන දොරටුව අසල වම් පසින් හා දකුණු පසින් කුලුනු තුන බැගින් ඉදිකර ඇත්තේ අමුතු අලංකාරයක් ලබා දීමට බව වැටහේ. දොරවල් දෙකක් ඉදිකර තිබුණත් අදවන විට එක් දොරක් ස්ථිරවම වසා එක් දොරක් පමණක් භාවිතයට ගනී. පඩි පෙල් කීපයක් සමග එක මට්ටමට අතුරා ඇත්තේ එකිනෙකට වෙනස් ගල් පුළුල් මිදුල තවත් ශත වර්ෂ ගණනාවකට ඔරොත්තු දෙන ලෙසටය. පල්ලියට ඇතුළු වන දොරටුව දෙපස ඉදිකර ඇති කුලුනුවලට ඉහළින් කැටයම් කර ඇති අතර මේ කුලුනු බලාපොරොත්තු කුලුනු වශයෙන් ද හඳුන්වයි. එයට හේතු මේ කුලුනු එකකට අසල ගොස් හිස මේ කුලුන මත තබා අත් දෙක තබා යම් දෙයකට පතන පැතුම ඉෂ්ට වෙනවා කියන මතය නිසාවෙනි. මේ ගැන ඇසන විට ඒ අසල සිටි පුද්ගලයෙක් මට පැවසුවේ උදාහරණ සමගය. කොතරම් බලාපොරොත්තු තිබෙනවාද කීවොත් මේ කුලුනු හිස දැවටෙන තැන කණ්ණාඩියක් ගාණට ඔපමට්ටම් වී ඇත්තේ කෝටි ගාණකගේ පැතූ බලාපොරොත්තු නිසාවෙනි. විශාල ලී වලින් සාදන ලද දොර පියන අවුවට වැස්සට ඔරොත්තු දී පිපිරී ඉරි ඇදී ගොස් තිබුණත් තවමත් ශක්තිමත් ව තිබේ. ඒ පතාක දොරවල් තිබුණත් ඉහළින් ඇති අලංකාරව සාදන ලද ආරුක්කු හැඩයට ජනේල තිබුණත් ඇතුළත අඩ අඳුරක් දිස් වූවත් මාගේ ඇස් වේගයෙන් ඇදී ගියේ මිනිසුන් බිම වැතිරී සිටින විශාල ගල් තලාවක හිස තබා වන්දනා කරන ආකාරය දෙසය. ඊට ඉදිරියෙන් තිබෙන පළල් බිත්තියේ ශුද්ධ වූ ජේසුස් වහන්සේගේ සිතුවම කාගෙත් හද කම්පා කරන තරමට දනවන්නට සිත්තරා දක්ෂ වී ඇත.

ගමන් මල්ල නැවතත් කරේ දමාගෙන ඊටත් ටිකක් ඉහළින් ඇති කල්වාරි කඳු ගැටය වෙත යන්නට ඇති පඩි පෙළ වෙත මම පිය නැගුවෙමි. කෙටි පඩි පෙළවල් කිහිපයක් ඇති මේ ශුද්ධ වූ ස්ථානයට ගොඩ වූ විට එදා වූ ඒ අවාසනාවන්ත සිද්ධිය හද කම්පා වන අන්දමින් මට මැවී පෙනුණි. කුරුසයට ඇණ ගැසූ ස්ථානය වූ මෙය ශුද්ධ වූ කල්වාරි කන්දයි. මේ වෙත යන ඔබට දැනටත් එම අති උතුම් ගල්තලාව දැකගත හැකි බව මතක් කරමි.

නැවතත් මා පහළ මාලයට පැමිණ මා පෙර හිස තැබූ ආලේප ගලට මීටර් තුනක් පමණ ඈතින් ඇති අඩ අඳුරේ ශෝකයට බරව මළානිකව දැල්වෙන ඉටිපන්දම් පුවරුව ළඟටය. මෙතැනට හොඳින් දර්ශනය වෙන මඳක් ඉහළින් පිහිටි කල්වාරි කන්දේ ශුද්ධ වූ ජේසුස් වහන්සේ කුරුසයට ඇණ ගසන විට මෙතන සිට දෙවියන් වහන්සේගේ මෑණියන්වහසේ වන උතුම් මරිය තුමියගෙ ඇස කඳුළෙන් තෙත්වූ ශුද්ධ වූ තැනක් වශයෙන් හඳුන්වයි.

ඩඉටයඒමහමහන

මා ඉටිපන්දන් කිහිපයක් දැල් වූවත් අඳුර නොබිඳෙන මේ උතුම් පල්ලියේ මට ටිකක් නුදුරින් ඇති කුටිය ලෝකයේ සිටින කිතුනු බැතිතුමතුන්ගේ නමස්කාරයට බඳුන්වූ තවත් ස්ථානයකි. හුදකලාව පිහිටි මේ කුඩා කුටිය ඇතුළට යා හැකි වන්නේ හිස නමා එක් වරකට එක් පුද්ගලයෙක් පමණි. මෙය ශුද්ධ වූ ජේසුස් වහන්සේ තැන්පත් කළ ස්ථානය වශයෙන් හඳුන්වනු ලැබේ. හැම වෙලාවෙම සුවඳ දුමින් නැහැවෙන මේ උතුම් සිද්ධස්ථානයේ නැවතත් දොරකඩ වෙත මා එන විට නිල් අහස් ගැබ හිරු රැසින් බැබළෙමින් මේ සුවිසල් පල්ලියේ ගණ්ඨාර නාදයත් එක්කම එහි සෙවනැල්ල මිදුලේ අතුරා ඇති ගල්තලාවේ දැවටී සිප ගෙන හමාරයි.

මා නැවතත් පඩි පෙළ නැග පල්ලිය වෙත නැවත හැරී බලා පටු මාර්ග මතින් ටිකක් ඉක්මනින් යුදෙව්වන්ගේ ශුද්ධ වූ බටහිර ඉවුර වෙත යන්නටය. විනාඩි ගණනාවකින් මට පහළින් ඇති මේ ඉවුර බැම්ම කියා කීවොත් ඔබට නිවැරදිව චිත්‍රයක් මැවී පෙනෙනු ඇත. මේ බැම්ම ළඟ එකම හිස් ගොඩක් පමණි. මේ තැනට ඇතුළු වීමට පෙර කුඩා තොප්පියක් ලබා දෙන්නේ යුදෙව් ආගමේ විශ්වාස නිසාය. හිස මුදුනේ පොඩි කොටසකට පමණක් ආවරණය කරන මෙයට යුදෙව් බසින් ”කිපා” යනුවෙන් ආමන්ත්‍රණය කරයි.

ගඩොල් කැට මෙන් විශාල හුණුගල් සමූහයක් එකිනෙකට තබා දිගින් මීටර් 488 ක් වන අතර උසින් මීටර 19 ක් වන මේ බටහිර බැම්ම ක්‍රිස්තු පූර්ව 19 වැනි සියවසේ මහා හෙරෝත් රජු විසින් සාදන ලද්දකි. නැවි නැවී අමුතුම ආකාරයට අතේ මෙන්ම හිසේ යම් දෙයක් පටලවාගෙන යාඥා කරන යුදෙව්වන් නුහුරු අපිට අමුතුය. බැම්ම වෙත ළං වූ විට මට පෙනුණු දෙයක් වූයේ මේ විශාල ගල් අතර චූටි හිස් ඉඩ තුළ පොඩි කොළ කෑලි වලින් ලියා රවුම් කර තබා ඇති අන්දමය. යම් දෙයක් ලියා මෙතන තැබූ විට එය ඒ ආකාරයෙන් ඉටුවෙනවා යැයි විශ්වාසයක් ඔවුන් තුළ ඇත. කාන්තාවන්ට සහ පිරිමින්ට වෙන වෙනම වෙන් කර ඇති මේ පූජා භූමිය යුදෙව් ආගමේ පුරුෂාධිපත්‍යය මැනවින් පෙන්නුම් කරන දෙයකි. අතීතයේ මෙන්ම වර්තමානයද ඔලිව් ගස්වලින් පිරුණු ඔලිව් කන්ද වෙත මා මේ යන ගමන කිසිදා අමතක නොවනු ඇත. බයිබලයේ “ගෙත් සේමනේ උද්‍යානය” නමින් හැඳින්වූ මේ කඳු ගැටය ශුද්ධ වූ ජේසුස් වහන්සේ අන්තිම රාත්‍රිය ගත කළ මේ පින්බිම ලොවටම ආභරණයකි. එය මීටර් 826 කින් වූ උසින් ඇති කුඩා කඳු මුදුන්ට ගිය පසු පහළින් පිහිටි මා මීට පෙර ගිය පන්සල් කන්දේ පිහිටි බටහිර ඉවුර කුරුස පල්ලිය මෙන්ම ඉස්ලාම් ජනතාවට ශුද්ධ වූ “කුබහත් අෂ් ශක්‍රා” පල්ලිය නොහොත් ක්‍රි.ව. 688 ගොඩනගා ඇති අතර එක් එක් කාලවල ප්‍රතිසංස්කරණය කර ඇත. මෙය කලා කෘතියේ ඉස්ලාමිකයන්ට භක්තිමත් ලියවිල්ලක් වශයෙන් හඳුන්වන අතර ඉස්ලාමීය සංස්කෘතියේ අද්වතීය ස්මාරකයෙකි.

ඔබට “ශූක්” යනුවෙන් කිවහොත් ඒ මොකක්ද කියා ඔබ විමතියට පත්වේ. හෙබ්‍රෙව් බසින් ”ශූක්” යනුවෙන් හැඳින්වෙන්නේ අපි හැමෝම යන එන දන්න “පොලට”ය. නැවුම් පලතුරු එළවළුවලට නම් දරාපු තැනක් වශයෙන් ජෙරුසලමේ මහනෙයෙහුදා පොල කා අතරත් ප්‍රචලිතය.

ඊශ්‍රායලයේ සිට
මංගල කරඳවල

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website