සිකුරාදා, 14 ජූනි 2024 11:44

අන්තර්ජාල පරිශීලකයන්ගේ දත්ත සොරකම් කළ චීන ජාතිකයෙක් කොටු වෙයි Featured

වෙබ් අඩවි සහ පරිශීලකයන්ගේ අතරමැදියකු ලෙස කටයුතු කරමින් පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත සොරකම් කිරීමේ ජාවාරමක නිරත වු සයිබර් අපරාධකරුවකු අත්අඩංගුවට ගත් බව අමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වසර ගණනාවක් පුරා අමෙරිකාවේ පදිංචිව සිටිමින් ඩොලර් මිලියන ගණන් මුදල් උපයා ගෙන ඇතැයි කියන එම සයිබර් අපරාධකරු චීන ජාතිකයකු බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. 35 හැවිරිදි යුන්හේ වැං නමැති මේ පුද්ගලයා 2014 සිට 2022 දක්වා රටවල් 190කට වැඩි ගණනක අන්තර්ජාල පරිශීලකයන්ගේ දත්ත සොරකම් කර ඇතැයි ද, අමෙරිකාව, සාන්ත කිට්ස්, චීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය රටවල සුඛෝපභෝගී මෝටර් රථ සහ දේපල මිලදී ගැනීම් සඳහා නීති විරෝධී අයුරින් උපයා ගත් එම මුදල් භාවිත කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. අධිකරණ ලේඛනවලට අනුව එම සයිබර් අපරාධකරු උපයා ගත් බව කියන මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 99ක් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පසුගිය මැයි මාසයේදී අත්අඩංගුවට පත් වී ඇති එම චීන ජාතිකයාට එරෙහිව චෝදනා ගොනු කර ඇතැයි ද, අමෙරිකාව තුළ ඔහුට අයත් ඩොලර් මිලියන 30ක් වටිනා වත්කම් රාජසන්තක කළ හැකි දේපළ ලෙස හඳුනාගෙන ඇතැයි ද අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.

DN

 

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website