ලොව බොහෝ රටවල ජනතාවට මේ වන විට අධික උෂ්ණත්වයෙන් පීඩා විඳීමට සිදුව ඇති බව පසුගිය දිනවල විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.
දැනට දින කිහිපයකට පෙර ඉන්දියාව, පකිස්තාන හා ජපාන මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ එම රටවල බොහෝ ප්‍රදේශවලට බලපා තිබූ අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාව දැඩි සේ පීඩාවට පත්ව ඇති අතර සෞඛ්‍ය අංශ විසින් ජනතාවට සෞඛ්‍ය අවදානම් නිවේදනයන් නිකුත් කර ඇති බවයි. උතුරු ඉන්දියාවේ නවදිල්ලිය ඇතුළු ප්‍රදේශ රැසකද පකිස්තානයේ කරච්චි නගරයේද උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා යෑම හේතුවෙන් පුද්ගල මරණ පවා වාර්තා වී තිබිණි.
අනෙක් අතට එම රටවල බොහෝ වගාවන් පවා පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විනාශ වී ගොස් ඇති අතර ජල මූලාශ්‍රයන් සිඳී යෑමෙන් පානීය ජල හිඟයක්ද මතුව ඇති බව වාර්තා විය. දේශගුණික විපර්යාසයන්හි ප්‍රතිපලයක් වශයෙන් ගෝලීය උණුසුම ඉහළ යෑමෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇතත් එම තත්ත්වය මැඩලීම සඳහා ලොව පුරා රටවල නායකයන් විසින් ගෙන ඇති පියවර ප්‍රමාණවත් නොවන බව දේශගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.
ඉකුත් සතිවල උතුරු ඉන්දියාවේ හා පකිස්තානයේ පැවති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ විදුලි උඳුනක් තුළ ජීවත් වීමේ තත්ත්වයක් එම රටවල පවතින බවයි. 2015 වසරේ පැවති දේශගුණික විපර්යාසයන් හා සම්බන්ධ පැරිස් සමුළුවේ රාජ්‍ය නායකයන් තීරණය කර තිබුණේ ගෝලීය උෂ්ණත්වය අවම කරලීම සඳහා උෂ්ණත්වය සෙල්සියස් අංශක 2ට අඩු මට්ටමකින් පවත්වා ගැනීමටත් වැඩි වන උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ට අඩු මට්ටම්කින් පවත්වා ගැනීමටත් ය.
කෙසේ වුවද මේ වන විට එම ඉලක්කයන් වැරදි ගොස් ඇති අතර යුරෝපා සංගමයේ කොපර් නිකස් දේශගුණික විපර්යාස සේවාව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවකින් පෙන්වාදී ඇත්තේ ඉකුත් වසරේ ජුනි මස සිට මෙම වසරේ ජුනි දක්වා වූ ගත වූ වසරක කාලය තුළ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ට වඩා වැඩි මට්ටමක පැවති ඇති බවයි. එය 1800 ගණන්වල පැවති උෂ්ණත්වයට වඩා බෙහෙවින් වැඩි බවද එම වාර්තාවේ දැක්වේ.
මෙම තත්ත්වය මත ඉකුත් ජුනි මාසය මෑතකදී වාර්තා වූ උණුසුම් ම ජුනි මාසය සේ වාර්තා පොත්වලට එක් වී ඇති අතර උෂ්ණත්වය සෙල්සියස් අංශක 52 ඉක්මවා යෑම හේතුවෙන් උතුරු ඉන්දියාවේ මෙන්ම පකිස්තානයේ කරච්චි නගරයේ විශාල පිරිසක් මිය ගොස් තවත් දහස් ගණනක් තාප ආඝාතය හෙවත් හිට් ස්ට්‍රෝක් ඇතුළු අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් හටගන්නා රෝගාබාධ සඳහා ප්‍රතිකාර කිරීමට රෝහල්ගත කර තිබිණි.
ජපානයේද පසුගිය දිනවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර ඇමරිකා එක්සත් ජනපදයේ මෙන්ම යුරෝපා රටවල් ගණනාවකින්ද මෙවැනිම වූ තත්ත්වයක් වාර්තා වී තිබිණි.
යුරෝපා සංගමයේ කොපර් නිකස් දේශගුණික විපර්යාස සේවයේ අධ්‍යක්ෂක ආචාර්ය කාලෝ බුවොන්ටෙම්පෝට අනුව මෙම ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ තත්ත්වය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වනු ඇති අතර මිනිසා විසින් කර්මාන්ත සඳහා භාවිත කරන පරිසරයට අහිතකර හරිතාගාර වායුන් නිකුත් කිරීම නවත්වන තෙක් ගෝලීය උෂ්ණත්වය වාර්තාගත අයුරින් ඉහළ ගොස් නව උෂ්ණත්ව වාර්තාවන් බිහිවීම නොවැළක්විය හැකිවනු ඇත.
මේ අතර දේශගුණික විද්‍යාඥයන්ට අනුව මෙම වසරේ ජුනි මාසයේ ලොව පුරා උෂ්ණත්වයේ සාමාන්‍ය අගය සෙල්සියස් අංශක 16.6කි. ගෝලීය උණුසුමෙහි බලපෑම ශීත දේශගුණයක් සහිත ඇලෙස්කාව හා සයිබීරියාව වැනි රටවලටත් තදින් දැනීමෙන් මේ පිළිබඳව ලෝක නායකයන්ගේ අවධානය යොමුවීම කාලීන අවශ්‍යතාවයක් බව සනාථ වන බව විද්‍යාඥයෝ පවසති.
ඒමන්ති මාරඹේ