ඉරිදා, 14 ජූලි 2024 07:44

ජෝ බයිඩන්ට නම් පැටලී අලකලංචියක් Featured

ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් අගනුවර දී නොබෝදා නිමාවට පත් වූ නේටෝ (උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය) සමුළුවේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් සිය උප ජනාධිපතිනි කමලා හැරිස් තම මැතිවරණ ප්‍රතිවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙසත්

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි රුසියානු ජනාධිපතිවරයා වන පුටින් ලෙසත් වැරදි අයුරින් හඳුන්වා දී ඇතැයි ඊයේ (12) බටහිර මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.

කෙසේ වුවද අදාළ වැරදිසහගත හඳුන්වාදීමෙන් අනතුරුව ඇමරිකානු ජනාධිපතිවරයා කඩිනමින් සිය වරද නිවැරදි කරගෙන තිබුණද නේටෝ සමුළුවෙන් අනතුරුව පවත්වා ඇති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් විසින් මෙම අමතකවීමේ සිදුවීම් හේතුවෙන් ජනාධිපති ධුරයේ රැඳීමට ඔහුට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපති බයිඩන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර තිබිණි.

පැයක පමණ කාලයක් පැවැති අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් දිගින් දිගටම ජනාධිපති බයිඩන්ගෙන් විමසා ඇත්තේ ඔහුට ජනාධිපති ධුරය දැරීමට තරම් යෝග්‍යතාවයක් පවතින්නේද යන්න පිළිබඳවයි. මෙහිදී මාධ්‍යවේදීන්ට පිළිතුරු ලබා දී ඇති ඇමරිකානු ජනාධිපතිවරයා අදාළ වැරදීම්වල පවතින වැදගත්කම අවතක්සේරුවට ලක් කරමින් පවසා ඇත්තේ මෙම වසරේ පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති හා සිය ප්‍රතිවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප් පරාද කිරීමේ භූමිකාව අත්හැරීමට තමාට අවශ්‍ය නොවන බවයි. තමා සිය රාජකාරිය අවසන් කරමින් මීළඟ ජනාධිපතිවරණයේදී තමා ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කරන බවද ඔහු සඳහන් කර තිබේ. හිටපු ජනාධිපති ට්‍රම්ප් ඇමරිකානු නීතියට තර්ජනයක් බවත් ඒ නිසා තමන්ගේ කාර්යය ඉටු කළ යුත්තේ තමා විසින්ම බවත් එබැවින් වෙනත් පරපුරකට එම කාර්යය නොපැවරූ බවත් ජනාධිපති බයිඩන් පවසා තිබේ. මේ අතර සිය ‘ට්රූත් සෝෂල්’ සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ජනාධිපති ජෝ බයිඩන් විසින් තමා උප ජනාධිපතිනිය ලෙස හැඳින්වීම උපහාසයට ලක් කර ඇති හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ‘විශිෂ්ටයි ජෝ -වංක ජෝ ට ට්‍රම්ප් විකෘති සින්ඩ්‍රෝමය වැළඳී ඇත’ යනුවෙන් පවසා තිබේ. මේ අතර 81 හැවිරිදි ජනාධිපති බයිඩන් විසින් හිටපු ජනාධිපති ට්‍රම්ප් හා පැවැති ජනාධිපතිවරණ විවාදයේදී දැක්වූ දුර්වල අදහස් දැක්වීම් හේතුවෙන් ඔහුගේ පාලක ඩිමොක්‍රටික් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග නොවදින ලෙස ඉදිරිපත් වන ඉල්ලීම් වැඩි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website