බ්‍රහස්පතින්දා, 25 ජූලි 2024 11:35

බංග්ලාදේශය යළි සන්සුන් දින හතරකට පසු රට ඇරෙයි Featured

මියගිය ගණන 174යි

දෙදහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට

රජයේ රැකියා කෝටාව පිළිබඳ උද්ගත වූ අර්බුදයක් මුල් කරගනිමින් සරසවි සිසුන් ආරම්භ කළ විරෝධතාව ප්‍රචණ්ඩ අතට හැරීමෙන් පසු දින නියමයකින් තොරව රට පුරා පැනවූ ඇඳිරිනීතිය ඊයේ බංග්ලාදේශ රජය ඉවත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 1971දී බංග්ලාදේශ නිදහස් අරගලයට එක්වූ හමුදා සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහ රජයේ හිතවාදීන්ට රජයේ රැකියා කෝටාවෙන් 30%ක් වෙන් කිරීමට එරෙහිව ආරම්භ වූ විරෝධතාව ප්‍රචණ්ඩ වීමෙන් පසු පනවනු ලැබූ ඇඳිරීනීතිය ඉවත් කර ඇත්තේ දින 4කට පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. බංග්ලාදේශයේ ජන ජීවිතය යළි සාමකාමී අතට හැරී ඇත්තේ පසුගියදා එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රජයේ රැකියා කෝටාව සම්බන්ධව දුන් තීන්දුවෙන් පසුවය. කුසලතා මත පදනම්ව අපේක්ෂකයන්ට රැකියා කෝටාවෙන් 93%ක් වෙන් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරද්දි රජයේ හිතවාදී කණ්ඩායම් සහ පොලිසිය ඇතුළු යුද හමුදාව විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරවලින් ද, සරසවි සිසුන්ගේ පහරදීම්වලින්ද අහිමිවූ ජීවිත ගණන 150 ඉක්මවා තිබූ බව ද වාර්තා වේ.

ඇඳිරිනීතිය පැනවීමත් සමඟ රජය විසින් රට පුරා අන්තර්ජාල පහසුකම් අත්හිටුවීමට පියවර ගෙන තිබූ අතර, ඊයේ වන විට බැංකු, ව්‍යාපාර, තාක්ෂණ හා සන්නිවේදන සමාගම් හා මාධ්‍ය ආයතන වෙත පමණක් එම සීමා ඉවත් කිරීමට පියවර ගෙන තිබූ අතර, සමාජ මාධ්‍යජාලය පසුව ඉවත් කරන බව බංග්ලාදේශ රජය නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ. අන්තර්ජාලය අත්හිටුවීමෙන් පසු එරට පුවත්පත් අලෙවිය 20%කින් ඉහළ ගොස් ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. කෙසේ වුවද දින පහකට ආසන්න කාලයක් පුරා පැවති ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඇඳිරිනීතිය හේතුවෙන් රජයට සිදුවූ පාඩුව අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවූ බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ අපනයන ඇඟලුම් ක්ෂේත්‍රයට බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊයේ වන විට ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතවූ සරසවි සිසුන් ඇතුළු පුද්ගලයන් 2657 දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඉන් පිරිසක් දින තුනක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට උසාවි නියෝග ද නිකුත් කර තිබූ බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර එරට ප්‍රධාන විපක්ෂය වන කලීඩා සියාගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නායකයා ද සිටින බව එම පක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කර ඇතැයි වාර්තා වේ. සරසවි විරෝධතාව පසුපස කලීඩා සියාගේ පක්ෂය සිටින බව රජය චෝදනා කර ඇති අතර, බංග්ලාදේශයේ විපක්ෂය එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වේ.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website