සිකුරාදා, 26 ජූලි 2024 11:53

‘ගයිම්’ සුළි කුණාටුව නැව් දෙකක් පෙරළයි Featured

– ඉන්ධන ලීටර් ලක්ෂ 15ක නැවකුත් ඒ අතර

– කාර්ය මණ්ඩලයේ 10ක් අතුරුදන්
– පිලිපීනයට හා තායිවානයට කුණාටුවෙන් දැඩි හානි

වසර අටකට පසු පිලිපීනයට හා තායිවානයට කඩාවැදුණු ‘ගයිමි’ සුළි කුණාටුව දකුණු චීන මුහුදේදී නෞකා දෙකක් විනාශ කළ බවත්, ඉන් එක් නෞකාවක ලීටර් ලක්ෂ 15ක් ඉන්ධන තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පිලිපීනයේ මැනිලා බොක්ක ආශ්‍රිත මුහුදේදී ටෙරා නෝවා නමැති එම ඉන්ධන නෞකාව ගිලී ඇති අතර, ඉන්ධන මුහුදට මිශ්‍ර වීමෙන් සිදුවිය හැකි සමුද්‍ර දූෂණය හැකිතාක් අවම කර ගැනීමට පිලිපීන සමුද්‍ර බලධාරින් දැඩි උත්සාහයක නිරතව සිටින බව ද වාර්තා වේ. ගයිමි සුළි කුණාටුවට හසුවූ එම ඉන්ධන නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 17 දෙනකුගෙන් 16ක්ම දිවි බේරා ගෙන ඇති අතර, එක් පුද්ගලයකු අතුරුදන් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මේ අතර පිලිපීනයේ සිට තායිවානය දෙසට හමා ගිය ගයිමි සුළි කුණාටුව තායිවාන මුහුදු සීමාවේදී භාණ්ඩ නෞකාවක් ද පෙරළා දමා ඇති අතර, එහි සිටි කාර්ය මණ්ඩලයේ 9 දෙනකු අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ටැන්සානියා ධජය සහිතව ගමන් කළ එම භාණ්ඩ නෞකාවේ සිට අතුරුදන් වූ සියලු පුද්ගලයන් මියන්මාර ජාතිකයන් බවත් වාර්තා වේ. සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් තවත් නෞකා තුනක් වෙරළට ඇදී ගොස් ඇතැයි ද වාර්තා වේ.

පිලිපීනය සහ තායිවානය උඩුයටිකුරු කළ ‘ගයිමි’ සුළි කුණාටුව ඊයේ වන විට චීනයේ ෆුජියැං ප්‍රාන්තයට ඇතුළු වී ඇති අතර, වේලාසනින්ම ඊට සූදානම් වී සිටි ප්‍රාන්ත බලධාරීන් එම කලාපයේ එක්ලක්ෂ පනස්දහසක ජනතාව ආරක්ෂා සහිත ස්ථාන වෙත රැගෙන ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ වන විට චීනයේ ප්‍රාන්ත රැසකට අධික වර්ෂාවක් පතිත වූ බවත්, එම ප්‍රාන්තයේ ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබූ බවත් වාර්තා වේ.

මීට දින දෙකකට මුලින් පිලිපීනයට කඩාවැදී ජීවිත 13ක් අහිමි කරමින්ද, තවත් ලක්ෂ 6කට වැඩි පිරිසක් අවතැන් කරමින් ද පැයට කිලෝමීටර් 240ක වේගයෙන් හමා ගිය මේ දරුණු සුළි කුණාටුව තායිවානයේදී ජීවිත තුනක් බිලිගෙන තවත් පුද්ගලයන් සිය ගණනක් රෝහල්ගත කර ඇත. එමෙන්ම නිවාස ලක්ෂ තුනකට ආසන්න සංඛ්‍යාවක් විනාශ කර ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කළේය. සුළි කුණාටුව හේතුවෙන් රළු වූ වර්ෂාව නගර ගණනාවකට ගංවතුර තත්ත්වයක් උදා කර ඇති අතර, නිවාස මහමාර්ග, රථ වාහන සහ ගොඩනැඟිලි රැසක් ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ. සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් පිලිපීනයේ සහ තායිවානයේ ගුවන් ගමන් විශාල ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදුවී තිබිණි.

nbnhjyuiui7i

DV

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website