බදාදා, 01 මාර්තු 2023 21:09

පකිස්ථාන ආණ්ඩුව මුදල් නොමැති බව පැවසුව ද, දින 90ක් තුළ මැතිවරණය පවත්වන්නැයි, එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග Featured

පකිස්ථාන රජය මුදල් නොමැති බව පැවසුව ද , දින 90 ක් තුළ පළාත් 4 න් 2 ක මැතිවරණය පැවැත්විය යුතු බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

3න් 2ක බෙදුණු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය නිකුත් කරනු ලැබ ඇත්තේ, අගවිනිසුරු උමාර් අටාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, අනුව පන්ජාබ් පළාතේ සහ කයිබර් පක්තුන්ක්වා පළාත් දෙකට අදාළවයි.

මිලියන 214 ක් වන සමස්ත පකිස්ථාන ජන ගහනයෙන් මිලියන 110ක ජනතාවක් ජීවත්වන පන්ජාබය එරට විශාලතම පළාතයි.

මිලියන 35ක් සහිත ජනගහනයක් සහිත කයිබර් පක්තුන්ක්වා පළාත එරට තුන්වන විශාලතම පළාතයි.

පකිස්ථාන ජනාධිපති අරීෆ් අල්වි මහතා පසුගිය පෙබරවාරී 21 වනදා අප්‍රේල් මස 09 වැනිදා අදාළ පළාත් දෙකේ මැතිවරණය පැවැත්වීම සඳහා ඒකමතික තීන්දුවක් ගනු ලැබුවේ, මැතිවරණ කොමිසමේ ඡන්ද කල්තැබීමේ උත්සාහය ද නොතකමිනි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මැතිවරණ කොමිසමේ බලය අභිබවා යමින් පාකිස්ථාන ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි.

පාකිස්ථානයේ ප්‍රාන්ත මැතිවරණ පැවැත්වීම පසුගිය සමයේ දිගින් දිගටම කල් ගොස් තිබුණේ ඊට ප්‍රමාණවත් මුදල් නොමැති බවට මුදල් අමාත්‍යාංශය මැතිවරණ කොමිසමට දැනුම් දීමත් සමගයි.

පාකිස්ථාන මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබුණේ මෙම ප්‍රාන්ත දෙකෙහි මැතිවරණය පැවැත්වීම සඳහා පාකිස්ථාන රුපියල් බිලියන 15ක මුදලක් අවශ්‍ය බවයි.

නමුත් මුදල් අමාත්‍යංශය පවසා තිබුණේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙම මුදල් ලබා දිය නොහැකි බවයි.

මේ අතර මැතිවරණයට අදාළ මෙම කරුණ විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, බලයෙන් පහ කරන ලද අගමැති ඉම්රාන් ඛාන්ගේ පී. ටී. අයි . සහ වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ පී.එම්. එල්. එන් පක්ෂ අතර බල අරගලයේ උච්චතම අවස්ථාවක් ලෙසයි.

පසුගිය අප්‍රේල් මාසයේදී හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ධුරයෙන් ඉවත් ඉවත් කෙරුණේ, විශ්වාසභංග යෝජනාවක් මගිනි.

වත්මන් ජනාධිපතිවරයා පී.ටී.අයි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකි.

පකිස්ථාන පාලන ක්‍රමයට අනුව ජනාධිපතිවරයා සන්නද්ධ හමුදාවලට අණදීම ඇතුළු සීමිත බලතල සහිත රාජ්‍ය නායකයා වන අතර රජයේ විධායක ප්‍රධානියා වන්නේ, අග්‍රාමාත්‍යවරයයි.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website