ඉරිදා, 06 ඔක්තෝබර් 2024 10:29

ගැහුවොත් ගහලා පටන් ගන්න යන තුන්වැනි ලෝක යුද්ධය Featured

හිස්බුල්ලා නායක හසන් නසරල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායල හමුදා සමත් විය. තම රටට එරෙහිව යුද ප්‍රකාශ කර ඇති අංක එකේ ප්‍රොක්සි හමුදා නායකයා ඉවත් කිරීම ඊශ්‍රායල පාර්ශ්වය ලැබූ විජයග්‍රහණයකි.

නමුත් දැනට ඊශ්‍රායලයේ පැවැත්මට විශාලතම අභියෝගය එල්ල වී ඇත්තේ ඉරානයෙනි. ඊශ්‍රායලයට එරහිව සංකේතාත්මක ප්‍රහාර එල්ල කළ ද තවමත් ඊශ්‍රායලය සමග මුහුණට මුහුණ සටන් කිරීමට ඉරානය මැලිකමක් දක්වයි. තම පිටුබලය සහිත ප්‍රබල ප්‍රොක්සි හමුදාවන් කිහිපයක් පවත්වා ගනිමින් ඒ හරහා ඊශ්‍රායලය හා ගැටීම ඉරානයේ උපක්‍රමයයි. පලස්තීනයේ හමාස්, ලෙබනනයේ හිස්බුල්ලා හා යේමනයේ හූති යන සන්නද්ධ සංවිධාන මෙයින් ප්‍රමුඛ වේ. හිස්බුල්ලා යනු එයිනුත් බලවත්ම සංවිධානයයි. එය ලොව ප්‍රබලතම පැරාමිලිටරි කණ්ඩායම ලෙස හැඳින්වෙන අතර ලෙබනනය තුළ විශාල බලයක් සහිත දේශපාලන පක්ෂයක් ලෙසත් ඔවුන් සංවිධානගතව ඇත. නසරල්ලාට අනුව ඔහුගේ සංවිධානය සෙබළුන් 100,000 කින් පමණ සමන්විතය.

ගැහුවොත් ගහනවා

නසරල්ලාගේ ඝාතනය ඉරානයට ඉවසුම් නොදෙන වේදනාවක් වී ඇති බව පෙනෙන්නට තිබේ. ඉරානය තුළ දින 5 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. නසරල්ලා ඉවත් කිරීමේ වාඩුව පියවීමට ඊශ්‍රායලය සූදානම් විය යුතු බව ඉරාන අධ්‍යාත්මික නායක අයෙතුල්ලා කුමෙයිනි ප්‍රකාශ කළේය.

ඉරානයේ එකී පළිගැනීමේ ප්‍රහාරය ඔක්තෝබර් 03 වැනිදා රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත එල්ල විය. බොහෝ මිසයිල ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධති මගින් වෙඩි තබා බිම හෙළා ඇති නමුත් ඉන් කිහිපයක් ටෙල් අවිව් හා ජෙරුසෙලම් නගර වෙත පතිත වී ඇත. පසුගිය අප්‍රේල් මාසයේදී මිසයිල සහ ඩ්‍රෝන යානා සිය ගණනක් යොදා ගෙන ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඉරානය මේ වසරේ ඊශ්‍රායලයට එල්ල කළ දෙවැනි ප්‍රහාරය මෙයයි. මෙම ප්‍රහාර දෙකම හුදු සන්දර්ශනාත්මක ප්‍රහාරයන් බවට පත්කර ගැනීමට ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතිය සමත් විය. ඔක්තෝබර් 03 ප්‍රහාරයෙන් පසු ඉරානය පැවසුවේ තම හමුදා ප්‍රථම වරට හයිපර්සොනික් මිසයිල භාවිතා කළ බවත් ඊශ්‍රායල හමුදා කඳවුරු තුනක් ඉලක්ක කළ බවත්ය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල ප්‍රහාරක යානා 20 ක් පමණ විනාශ වූ බවත් සමහර මාධ්‍ය වාර්තා කර තිබුණි. කෙසේ නමුත් මෙම ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අනතුරු ඇඟවූයේ ඉරානයට දරුණු ප්‍රතිවිපාක විඳින්නට සිදුවන බවයි. අනිවාර්යයෙන්ම ඊශ්‍රායල ප්‍රතිචාරය ඉරාන ප්‍රහාරයට වඩා වැඩි වනු ඇත. යම් හෙයකින් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක වුවහොත් එය තුන්වන ලෝක යුද්ධයේ ආරම්භය වනු ඇත. එවැනි ප්‍රහාරයන්ට නොපෙළඹෙන ලෙස එක්සත් ජනපදය ඊශ්‍රායලයට අවවාද කර ඇත. ඔබ මෙම ලිපිය කියවන විටත් ඉරානය වෙත ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වී තිබෙන්නට බොහෝ දුරට ඉඩ ඇත. අවශ්‍ය නම් ඉරානයේ ඕනෑම ස්ථානයකට ප්‍රහාර එල්ල කිරීමට තමන්ට හැකියාව ඇතැයි නෙතන්යාහු මීට පෙර ද ප්‍රකාශ කර ඇත. ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් පිළිබඳව වූ සැකය හා බිය හේතුවෙන් අයෙතුල්ලා කුමෙයිනි මේ වන විට ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් ඇති බව ජාත්‍යාන්තර මාධ්‍ය පවා වාර්තා කර තිබුණි.

හමාස් ප්‍රහාරයට වසරයි

පසුගිය වසරේ ඔක්තෝබර් 07 වැනි දින හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට ඇතුළු වී දියත් කළ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් විදේශිකයන් ඇතුළුව පුද්ගලයන් 1195 ක් මිය ගියහ. තවත් 251 දෙනකු ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන යන ලදී. ඉන් පසුව ඊශ්‍රායල හමුදා ගාසා තීරය වෙත ගුවනින් හා ගොඩබිමින් දරුණු ලෙස ප්‍රහාර එල්ල කළ අතර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ ප්‍රකාශිත අරමුණ ඇතිව ගාසා තීරය ආක්‍රමණය කළහ. මේ වන විට ගාසා තීරය තුළ පමණක් පලස්තීනුවන් 40,000 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර මිලියන 2.3 ක් වූ ගාසා වැසියන් අවතැන් වී ඇත. එහි නිවාස හා ගොඩනැඟිලිවලින් අඩකට වඩා බිමට සමතලා වී ඇත.

ගාසා තීරය මානුෂික ඛේදවාචකයක් වී ඇත. හමාස් යුද බලය බොහෝ සෙයින් අඩපණ වී ඇති නමුත් ඊශ්‍රායලය වෙත එල්ල වී ඇති ජාත්‍යන්තර පීඩනය සුළුපටු නැත. ඊශ්‍රායලය ගාසා තීරයේදී ජන සංහාරයක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති අතර ලොව පුරා එරටට එරෙහි විරෝධතා දියත් විය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් යෝජනා කරන ලද සටන් විරාම සියල්ල ඊශ්‍රායලය විසින් බැහැර කර ඇති අතර හමාස් හිසරදය මුලිනුපුටා දැමීමට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් ඇත. ඊශ්‍රායලයට එරෙහිව ගෝලීය විරෝධයක් එල්ල වුව ද ඇමෙරිකා එක්සත් ජනපදයට තම මැද පෙරදිග හිතවතා ඉවත් කළ නොහැක. ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ සටන් විරාම යෝජනාවන්ට එරෙහිව තම නිෂේධ බලය යොදවන්නේ එහෙයිනි.

හමාස් සංවිධානය වෙනුවෙන් යේමනයේ හූති සටන්කාමීන් ද පෙරට ආ අතර රතු මුහුදේ යාත්‍රා කරන වෙළඳ නෞකාවන්ට බාධා පමුණුවමින් ජාත්‍යන්තර පීඩනයක් ඇති කිරීමට ඔවුන් උත්සාහ දරමින් ඇත. කෙසේ නමුත් හමාස් සංවිධානය වෙනුවෙන් මරාගෙන මැරෙන සටනකට ඉදිරිපත් වූයේ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයයි. ඔවුන් උතුරු දෙසින් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කරන්නට වූ අතර අද වන විට ඊශ්‍රායලයට පෙරමුණු දෙකක සටන් කිරීමට සිදුව ඇත. මේ වන විට ඊශ්‍රායල හමුදා ගොඩබිමින් ලෙබනනය ආක්‍රමණය කර ඇති අතර බීරූට්හි හිස්බුල්ලා ඉලක්ක වෙත දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටී.

ලෙබනනය තුළ හිස්බුල්ලා රාජ්‍යයක්

හමාස් යනු සුන්නි ආගමික සන්නද්ධ කණ්ඩායමක් වුවත් හිස්බුල්ලා සංවිධානය එසේ නොවේ. එය දේශපාලන වශයෙන් මෙන්ම ආගමික වශයෙන්ද ඉරානයේ ෂියා මුස්ලිම් නායකත්වය යටතේ සන්ධානගතව ඇත. 1982 දී හිස්බුල්ලා සංවිධානය පිහිටු වූයේ ලෙබනන් පූජකවරුන් විසිනි. ඊශ්‍රායලයට එරෙහිව සටන් කිරිම එහි මූලික අභිප්‍රාය වූ අතර එය මුලින් කුඩා සන්නද්ධ කණ්ඩායමක් ලෙස පැවතුණි. පසුව එයට ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) උපදේශකත්වය හිමි විය. ලෙබනනයේ අනෙකුත් ෂියා ආගමික කණ්ඩායම්ද එකතු කරමින් මැදපෙරදිග කලාපයේ ප්‍රමුඛතම දෘෂ්ටිවාදී ආගමික පක්ෂයක් ලෙසත් පැරාමිලිටරි හමුදාවක් ලෙසත් වර්ධනය වීමට හිස්බුල්ලා සංවිධානයට හැකි විය. හිස්බුල්ලා සංවිධානය විසින් 1985 දී සකස් කරන ලද ඔවුන්ගේ ප්‍රතිපත්ති මාලාව අනුව කලාපයට ඇති බටහිර බලපෑම ඉවත් කිරීම, ඊශ්‍රායලය මිහිපිටින් තුරන් කිරීම, ඉරානයේ උත්තරීතර නායකයාට පක්ෂපාතී වීම සහ ඉරානයේ අණසකට යටත් ස්වයං නිර්ණය සහිත ලෙබනන් රාජ්‍යයක් පිහිටුවීම ඔවුන්ගේ ප්‍රමුඛ අරමුණු වේ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 1997 දී හිස්බුල්ලා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන ලදි. එසේම යුරෝපා සංගමයට, අරාබි ලීගයට හා ගල්ෆ් සහයෝගිතා කවුන්සලයට අයත් රටවල් 60 ක් පමණ ද මෙම තීරණයට අනුගතව ඇත. 1983දී බීරූට් හි ඇමෙරිකානු තානාපති කාර්යාලයට හා මැරින් බලකායේ බැරැක්කවලට එල්ල වූ ප්‍රහාරවලින් ඇමෙරිකානුවන් 258 ක් හා ප්‍රංශ හමුදා භටයන් 58ක් මියගිය අතර මේ ප්‍රහාරයන්ට හිස්බුල්ලා සංවිධානය සම්බන්ධ බව පැවසේ.

හිස්බුල්ලා සංවිධානය රාජ්‍යයක් තුළ රාජ්‍යයක් ලෙස ක්‍රියාත්මක වන බව බැහැර කළ නොහැකිය. එය ලෙබනනයේ නිල හමුදාවට වඩා ප්‍රබල පැරා මිලිටරි බලකායක් ලෙස සැලකේ. ඔවුන්ගේ හමුදා ක්‍රියාකාරකම් ලෙබනන දේශසීමාවෙන් ඔබ්බට විහිදී ගොස් ඇත. එය ඉරානය සමග රාජ්‍යතාන්ත්‍රිකවත් ගාසා තීරයේ, යේමනයේ, සිරියාවේ හා ඉරාකයේ සන්නද්ධ කණ්ඩායම් සමග හමුදාමය වශයෙනුත් මනා සම්බන්ධතාවයක් පවත්වයි. හිස්බුල්ලා දේශපාලන අංශය පාර්ලිමේන්තුවේ විශාල බලයක් සහිත කණ්ඩායමකි. 2018 මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ ආසන 128න් 70 ක්ම දිනා ගැනීමට හිස්බුල්ලා නායකත්වය සහිත දේශපාලන සන්ධානය සමත් විය.

රජයේ තනතුරු දැරුවත් නොදැරුවත් හිස්බුල්ලා සංවිධානය ලෙබනනයේ නිල නොලත් ආණ්ඩුව ලෙස ක්‍රියාකරන බව නිරීක්ෂණය වේ. ඉරානයේ මෙන් තනිකරම ෂියා නිකායික ජනතාවක් ලෙබනයේ නැත. ඊට සමානවම සුන්නි නිකායික ජනතාවක් ද එහි වාසය කරයි. 2020 දී බීරූට් වරායේ සිදු වූ අති දැවැන්ත පිපිරීම හේතුවෙන් ලෙබනනය ආර්ථික වශයෙන් වළපල්ලට ගියේය. මෙම ප්‍රහාරයට මෙන්ම ඒ පිළිබඳව පරීක්ෂණයන්ට බාධා කිරීම සම්බන්ධයෙන් හිස්බුල්ලා සංවිධානයට චෝදනා එල්ල විය. ඒ නිසාම බහුතර ලෙබනන් වැසියන්ගෙන් හිස්බුල්ලාවරුන්ට ලැබෙන සහයෝගය බෙහෙවින් සීමාසහිත වී ඇත. කෙසේ නමුත් ඉරානයේ මූල්‍යමය හා හමුදාමය පිටුබලය සහ සිරියාවේ දේශපාලන සහාය නිසා හිස්බුල්ලා සංවිධානය ශක්තිමත්ව වර්ධනය වී ඇත. එය මතවාදීව හෝ හමුදාමය වශයෙන් යටපත් කිරිමට තරම් ශක්තිමත් ප්‍රතිවිරුද්ධ බලවේගයක් ලෙබනනය තුළ දැනට නැත.

හසන් නසරල්ලා යනු කවුද?

දශක තුනකට පෙර දෘෂ්ටිවාදී කුඩා සන්නද්ධ ඒකකයක් ලෙස පැවැති හිස්බුල්ලා සංවිධානය ලොව ප්‍රබලතම රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම බවට පරිවර්තනය කළේ නසරල්ලා විසිනි. ලෝකයෙන් අඩකට වඩා ඔහුව හැඳින්වූයේ ත්‍රස්තවාදියකු ලෙසයි. නමුත් ගෝලීය භූ දේශපාලන සැකැස්ම උඩු යටිකුරු කළ හැකි මැදපෙරදිග කලාපයේ බලවත් නායකයකු ලෙස ඔහු ඉස්මතු වී සිටියේය. ඊශ්‍රායල විරෝධී ලෝක ජනමතයේ සංකේතය වූයේ නසරල්ලා ය. ඊශ්‍රායල විරෝධී රාජ්‍යයන් තම විරසකයේ සටන්කාමී ප්‍රකාශනය ඉදිරිපත් කළේ ඔහු හරහා ය. එනිසාම වර්තමාන සියොන් විරෝධී දෘෂ්ටිවාදයට නායකත්වය සපයන ඉරානයට ඔහු වීරයකු විය. එබැවින් ලොව කිසිදු ත්‍රස්තවාදී නායකයකුට නොලැබෙන ආරක්ෂාවක් ඔහුට හිමි විය. නසරල්ලා යනු ඊශ්‍රායලයට උවමනා අංක එකේ පුද්ගලයා විය. ඉතා සූක්ෂම ඔත්තු සේවාවන් පවත්වා ගත්ත ද දියුණු අවි බලයක් හිමිකර ගෙන සිටිය ද වසර 32ක් තිස්සේ නසරල්ලාව ඉලක්ක කර ගැනීමට ඊශ්‍රායලය අසමත් වී තිබුණි.

නසරල්ලාට පෙර හිස්බුල්ලා නායකත්වය ඉසුලූයේ අබ්බාස් අල් මුසාවි ය. 1992 දී හෙලිකොප්ටර් ප්‍රහාරයකින් ඔහුව මරා දැමීමට ඊශ්‍රායලයට හැකි විය. එතැන් සිට පසුගිය සැප්තැම්බර් 27 ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් මිය යන තෙක් පුරා වසර 32ක් සංවිධානයට නායකත්වය දුන්නේ නසරල්ලා ය.

තිතටම ලැබුණු ඔත්තුව

හිස්බුල්ලා නායකයා ඝාතනය වන්නේ බීරූට්හි අධි ආරක්ෂිත බංකරයක රැස්වීමක් පවත්වමින් සිටියදී ය. මෙම බංකරය පොළව මට්ටමේ සිට තට්ටු 3 ක් පහළට ඉදිකර තිබූ ගොඩනැඟිල්ලක යටම තට්ටුවේ ඉදිකර තිබූ බව වාර්තා වෙයි. එය ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක ඉදිකර තිබූ අතර අදාළ ස්ථානය පිළිබඳව ඊශ්‍රායල හමුදාවන්ට ලෙහෙසියෙන් අනාවරණය කර ගත නොහැකිය යි තක්සේරු කර තිබුණි. කෙසේ නමුත් ඊශ්‍රායලයේ සුක්ෂම ඔත්තුකරුවන් මෙම ස්ථානය නිවැරදිව සොයාගෙන ඇති අතර ප්‍රහාරයක් සඳහා සුදුසුම වේලාව වාර්තා කර තිබුණි. ටොන් 80ක් බරැති බෝම්බ මාලාවක් හරියටම ඉලක්කයට එල්ල වූයේ බංකරයේ මෙහෙයුම් කාර්යාලය තුළ පැවති හිස්බුල්ලා නායකයන්ගේ රැස්වීමක් අතරතුර ය. ප්‍රහාරයෙන් බංකරය කුඩු පට්ටම් වූ අතර කාලයක් තිස්සේ තමන්ට ලෝකයේ තිබූ ආරක්ෂිතම ස්ථානයේදීම මිහිදන් වීමට නසරල්ලාට සිදුව තිබුණි.

මෙම භූගත නිවස්නය ඉදිකර තිබුණේ විශාල සිවිල් ජනතාවක් ජීවත් වූ තට්ටු නිවාසයකට යටිනි. බොහෝ ත්‍රස්තවාදී හෝ සන්නද්ධ කණ්ඩායම් සතුරා සමග මුහුණට මුහුණ සටන් කරන්නේ නැත. ඔවුහු අහිංසක සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස භාවිතා කරති. නසරල්ලා ද මිනිස් පළිහකට මුවා වෙමින් ආරක්ෂා වීමට උත්සාහ දරා ඇති බව පෙනෙන්නට තිබේ. මෙම ප්‍රහාරයෙන් හිස්බුල්ලා සංවිධානයේ තවත් නායකයකු වූ අලි කර්කි සහ ඉරාන IRGC නායකයන් කිහිප දෙනෙකු ඇතුළු ප්‍රබලයන් 20 දෙනෙකු පමණ මිය ගොස් ඇත. මීට අමතරව නසරල්ලාගේ දියණිය ද ප්‍රහාරයෙන් මියගොස් ඇත. වාර්තා වන අන්දමට මොවුන් රැස්වී ඇත්තේ ඊශ්‍රායලයට එරෙහිව හමුදා ක්‍රියාන්විතයක් සැලසුම් කිරීමට යි.

ප්‍රහාරයට ඊශ්‍රායල් ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා 8 ක් සහභාගී වී ඇත. ශක්තිමත් බංකර හා ගොඩනැඟිලි පසාරු කරමින් ගොස් ඒවා පුපුරවා අළු දූවිලි කළ හැකි ඇමෙරිකාවේ නිෂ්පාදිත BLU 109 නමැති අධිබලැති බෝම්බ මාලාවක් නසරල්ලාගේ නිවස්නයට එල්ල වී ඇත. තව ද මෙම බෝම්බවලට GPS තාක්ෂණය සම්බන්ධ කර තිබූ බව වාර්තා වෙයි. යමෙකු තම යුද කටයුතු සඳහා මෙම තාක්ෂණය භාවිතා කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය නොදැන සිටියා නම් එය පුදුමයකි. මෙම තත්ත්වය මත නසරල්ලා ඝාතනය පිළිබඳව එක්සත් ජනපද ආරක්ෂක අංශ කලින් දැන සිටි බවට මත පළ වේ.

ජනාධිපති ජෝ බයිඩන් මෙම ප්‍රහාරය පිළිබඳව දෙයාකාරයකින් අදහස් දක්වා ඇත. ඊශ්‍රායලයට තම ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාකිරීමට ඇති අයිතියට සහයෝගය පළ කරන බවත් නසරල්ලාගේ මරණය යනු ඔහු විසින් මරා දැමූ ඇමෙරිකානුවන් වෙනුවෙන් යුක්තිය ඉටුවීමක් බවත් බයිඩන් සඳහන් කරයි. එසේම ලෙබනනයෙන් තම හමුදා ඉවත් කර ගන්නා ලෙසත් රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් තුළින් ගැටලු නිරාකරණය කරගන්නා ලෙසත් ඔහු ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටී ඊශ්‍රායලයට එරෙහිව මුස්ලිම් ලෝකය සමගි විය යුතු බව ප්‍රහාරයෙන් පසුව ඉරානය ප්‍රකාශ කර ඇත. අයෙතුල්ලා කුමෙයිනි තම දීර්ඝ කාලීන නිකායික සතුරකම් අමතක කරමින් සෞදි අරාබියට පවා සහෝදරත්වයේ දෑත් දිගුකර ඇත. නසරල්ලාගේ මරණයෙන් පසුව හිස් වූ හිස්බුල්ලා නායකත්වයට ඔහුගේ ඥාති සහෝදරයෙකු වූ හෂීම් සෆිද්දීන් යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

මොසාඩ්වරු සුපුරුදු රිද්මයට

පසුගිය වසරේ ඔක්තෝබර් 07 දින සිදු වූ හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල බුද්ධි අංශවල අසමත්භාවය පිළිබඳව දැඩි චෝදනා එල්ල විය. කාලයක් ලොව ශූරතම ඔත්තු සේවාවක් පවත්වා ගත් ඊශ්‍රායලයට මෙය මදි පුංචිකමකි. නමුත් දැන් පෙනෙන්නට තිබෙන්නේ හමාස් ප්‍රහාරය ඊශ්‍රායලයට වෙස්වලා ගත් ආශිර්වාදයක් වී ඇති බවයි. 1967 සය දින යුද්ධය ද මෙහිලා සිහිපත් කළ යුතුව ඇත. ඊජිප්තුව ඇතුළු එවකට ප්‍රබල අරාබි රටවල් විසින් ළදරු ඊශ්‍රායල් රාජ්‍යය සටනට කැඳවා ගැනීම නිසා සය දින යුද්ධය ආරම්භ විය. ඊශ්‍රායලය එවැනි යුද්ධයකට දශකයක කාලයක් තිස්සේ සූදානම්ව සිටි බව අරාබි රටවල් දැන සිටියේ නැත. යුද්ධය නිමා වූයේ ඊශ්‍රායලයට ප්‍රබල ජයග්‍රහණයක් අත්පත් කර දෙමින් හා අරාබි ප්‍රබලයන්ට නින්දා සහගත පරාජයක් අත්පත් කර දෙමිනි. දින හයකට පසු නැගෙනහිර ජෙරුසලම හා බටහිර ඉවුර ද සිරියානු ගෝලාන් කඳුකරය ද ගාසා තීරය සහ ඊජිප්තුවේ සීනායි අර්ධද්වීපය ද ඊශ්‍රායලය විසින් අත්පත්කර ගෙන තිබුණි. පසුකාලීනව පලස්තීන අධිකාරිය පිහිටුවීමේදී ගාසා තීරය පලස්තීනයට භාර දුන්න ද එය හමාස් සංවිධානය යටතට පත්වීමෙන් පසු ඊශ්‍රායලයේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය. ඔක්තෝබර් 07 ප්‍රහාරයෙන් වසරක් ගතවන විට ගාසා තීරය අලු දූවිලි වී ඇති අතර වැඩි කොටසක් ඊශ්‍රායලයේ අණසකට යටත්ව ඇත. දැන් උතුරින් පිහිටි ලෙබනන භූමියෙන් ද ආරක්ෂිත කලාපයක් වෙන් කර ගැනීම ඊශ්‍රායලයේ අරමුණ බව පෙනෙන්නට තිබේ. නසරල්ලා ඉලක්ක කළ යුතු මොහොත හා ස්ථානය ඊශ්‍රායල බුද්ධි අංශවලින් නිවැරදිව හඳුනා ගත්තේ ඔත්තුකරුවන් හරහා බව ඊශ්‍රායල බුද්ධි ප්‍රධානියා ඉඟි පළ කර ඇත. ඊශ්‍රායලයේ ප්‍රමුඛතම බුද්ධි අංශ ද්විත්වය වන්නේ මොසාඩ් හා ෂින් බෙට්ය. මෙම සංවිධාන දෙකම නවීකාරක කෘතිම බුද්ධිය මෙන්ම සම්ප්‍රදායික මිනිස් බුද්ධිය තම මෙහෙයුම් සඳහා භාවිතා කරන බව පෙනෙන්නට තිබේ. මීට මාස කිහිපයකට පෙර හමාස් සංවිධානයේ නායකයා වූ ඉස්මයිල් හනියා ඝාතනය වූයේ ටෙහෙරානයේ ආරක්ෂිත නිවස්නයක් තුළදී ය. අදාළ දිනයේදී ඔහු එහි නවාතැන් ගන්නා බව දැනගෙන ඉන් මාසයකට පමණ පෙර ඇටවූ බෝම්බයක් පුපුරුවා හැරීමෙන් අදාළ ඝාතනය සිදුකර ඇති බව අසන්නට ලැබේ. හිස්බුල්ලා සංවිධානය විසින් සිය සාමාජිකයන් හට බෙදා දී තිබූ පේජර් උපකරණ හා වෝකි-ටෝකි පුපුරා යෑමෙන් ද පුද්ගලයන් 37 ක් මියගොස් තවත් 3000 ක් පමණ තුවාල ලැබූවේ මීට දින කිහිපයකට පෙරය. ඉන් පසුව හිස්බුල්ලා සංවිධානය තම ආරක්ෂාව පතා සියලුම ඉලෙක්ට්‍රොනික උපාංගයන්ගෙන් ඉවත් වුව ද දින කිහිපයකට පසු සංවිධානයේ හිස ගසා දැමීමට ඊශ්‍රායලයට හැකි විය.

එවකට ඊශ්‍රායලයේ ප්‍රධානතම සතුරු රාජ්‍යය වූ සිරියාවට ගොස් එරට ආරක්ෂක උපදේශකයා බවට පත් වූ එලී කොහෙන් නම් මොසාඩ් ඔත්තුකරුවා පිළිබඳව චිත්‍රපට පවා නිර්මාණය වී ඇත. එලීගේ අනන්‍යතාවය හෙළි වූ පසු සිරියානු රාජ්‍යතන්ත්‍රය වික්ෂිප්ත වූ අතර පසුව ඔහුව එල්ලා මරා දමන ලදි. මොසාඩ් ඔත්තුකරුවන්ගේ වික්‍රමාන්විත මෙහෙයුම් පිළිබඳව ඕනෑ තරම් අසන්නට ලැබේ. ඔවුන්ගේ ජීවිත පරිත්‍යාගයන් හා කැපකිරීම නොමැති නම් අද ඊශ්‍රායලය නම් රාජ්‍යයක් මිහිමත නොමැති බව පිළිගන්නා සත්‍යයකි. පසුගිය කාලයේ සිදුවූ අතපසුවීම් නිවැරදි කර ගනිමින් ඊශ්‍රායලය නැවතත් තම බුද්ධි මෙහෙයුම් සාර්ථක කර ගෙන ඇති බව පසුගිය සිදුවීම් හරහා ගම්‍ය වේ.

ආන්දෝලනාත්මක අනාවරණයක්

සතුරු රාජ්‍යයන්හි හා සතුරු හමුදා තුළ ඊශ්‍රායලයට තොරතුරු සපයන ඔත්තුකරුවන් සිටිය හැක. දින කිහිපයකට පෙර ඉරානයේ හිටපු ජනාධිපතිවරයකු වූ මහමුද් අහමඩිනෙජාඩ් ආන්දෝලනාත්මක අනාවරණයක් සිදුකර තිබුණි. ඉරාන බුද්ධි අංශ ප්‍රධානියා ඊශ්‍රායලයේ ද්විත්ව නියෝජිතයකු (Double Agent) ලෙස කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේය. ඉරානයේ බුද්ධි අංශ තුළට ඊශ්‍රායල් ඔත්තුකරුවන් රිංගා ඇති බවත් ඉහළ පෙළේ බුද්ධි අංශ ප්‍රධානීන් කිහිප දෙනෙකුම මොසාඩ් සංවිධානයේ ද්විත්ව නියෝජිතයන් ලෙස කටයුතු කරන බවත් අහමඩිනෙජාඩ් චෝදනා කරයි. මෙහි මූලික අරමුණ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට අදාළ සංවේදී තොරතුරු සොරකම් කිරීම බව ඔහුගේ අදහසයි. මෙම ප්‍රකාශයන් දේශපාලන අරමුණින් කරන ලද්දක්ද සත්‍ය තොරතුරු මත පදනම්ව සිදුකළ ඒවාද යන්න තහවුරු වී නැතත් එයින් ඉරාන ආරක්ෂක අංශ කැළඹීමට පත්ව ඇත. මෙම අනාවරණය සිදුකර ඇත්තේ ඉරානයේ හිටපු වගකිවයුතු ජනාධිපතිවරයකු නිසා එය සැහැල්ලුවෙන් බැහැර කළ නොහැකිය.

DVN

 

Business News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website