බ්‍රහස්පතින්දා, 10 ඔක්තෝබර් 2024 12:03

‘මිල්ටන්’ සුළි කුණාටුව නිසා ෆ්ලොරිඩා වැසියෝ මිලියන ගණනක් ඉවත් කෙරෙති Featured

පැයට සැතපුම් 165ක් දක්වා වූ වේගයකින් හමා යන සුළං සහිත දරුණු සුළි කුණාටුවක් සේ සැලකෙන ‘මිල්ටන්’ සුළි කුණාටුව කඩා වැදීමට පෙර ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වැසියන් මිලියන ගණනක් ඊයේ (09) සිය නිවෙස්වලින් ඉවත් කිරීමට ඇමරිකානු බලධාරීන් විසින් පියවර ගෙන තිබිණි.

පස් වැනි කාණ්ඩයේ සුළි කුණාටුවක් සේ සැලකෙන මෙම සුළි කුණාටුවේ බලපෑම ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ප්‍රදේශ 28කට දැනෙනු ඇතැයි විද්‍යාඥයෝ පවසති. මිල්ටන් සුළි කුණාටුව ඊයේ දිනයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ‘ටැම්පා බේ’ කලාපයට කඩා වැදීමට නියමිතව තිබූ අතර මෙම සුළි කුණාටුව මගින් ජීවිතයත් මරණයත් අතර සටනක් ඇති විය හැකි නිසා වහාම සිය නිවෙස්වලින් ඉවත්ව ආරක්ෂිත ප්‍රදේශ වෙත යන්නැයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ද ෆ්ලොරිඩා වැසියනට අනතුරු ඇඟවීමක් කර තිබිණි. මෙසේ ප්‍රාන්තයෙන් මේ සා විශාල ජනකායක් කුණාටුවක් හේතුවෙන් ඉවත් කර ඇත්තේ දශක කිහිපයකට පසු පළමු වරටය.

‘මිල්ටන්’ සුළි කුණාටුව මෙසේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට කඩා වදිනුයේ ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක වැසියන් 225 දෙනකුට මරු කැඳවූ දරුණු ‘හෙලේන්’ සුළි කුණාටුව කඩා වැදීමෙන් සති දෙකකට අඩු කාලයකින් පසුව වීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය පවසයි. හෙලේන් සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරිඩා, ජෝර්ජියා, ටෙනසි, දකුණු කැරොලිනා, උතුරු කැරොලිනා හා වර්ජිනීයා යන ප්‍රාන්තවල වැසියන් එසේ මරණයට පත්ව තිබිණි.

මිල්ටන් සුළි කුණාටුව සමග හමා යන සුළඟ දරුණු බැවින් සිදු විය හැකි මිනිස් ජීවිත අහිමිවීම් හා දේපළ හානිය ඉහළ බව ඇමරිකානු බලධාරීහු පවසති. මෙම සුළි කුණාටුව හේතුවෙන් ගස් මෙන්ම විදුලි රැහැන් ද කඩා වැදීමට ඉඩ ඇති බවත් සුළි කුණාටුවෙන් හානියට පත්වන ප්‍රදේශවල නැවත ජනාවාස ඇති කිරීම සඳහා තවත් සති ගණනක් හෝ මාස ගණනක් ගත වනු ඇති බව ජාතික සාගර වායුගෝල සංගමය පවසයි. ෆ්ලොරිඩා ප්‍රාන්ත බලධාරීන් විසින් මිල්ටන් සුළි කුණාටුවේ ආගමනය හඳුන්වා ඇත්තේ ‘රකුසා පැමිණෙනවා’ යනුවෙන් වන අතර ‘මිල්ටන්’ සියවසේ සුළි කුණාටුව ලෙස ෆ්ලොරිඩා ප්‍රාන්ත පොලිසිය විසින් හඳුන්වා දී තිබේ.

සංස්කරණය ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website