ඉරිදා, 02 අප්‍රේල් 2023 08:22

ගිනි පුපුරු විසිවෙන ඊශ්‍රායලය Featured

ඊශ්‍රායලය පිළිබඳව වැඩි වශයෙන් මෑත කාලීනව කතාබහට ලක්වූයේ ගාසා තීරයේ සටන්කාමීන් විසින් ඔවුන් වෙත එල්ල කළ ප්‍රහාරයන් ද සමඟිනි.

ඒ සමඟම තවදුරටත් එය කතාබහට ලක්වූයේ ඔවුන් අසරණ කිරීමට තරම් ප්‍රබල වූ ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ ප්‍රහාරයන් පිළිබඳවය. ලෝක පුවත් සේවාවන් වැඩි වශයෙන් ඒ සම්බන්ධව කතා කළද මේ වන විට ඔවුන්ගේ මාතෘකාව වෙනස්ව ඇත්තේ ඊශ්‍රායලයේ අභ්‍යන්තරය තුළ පවතින මත ගැටුම් පිළිබඳවය. මත ගැටුම් ලෙසින් සඳහන් කළද එය වැඩවර්ජනයක් දක්වා ඉදිරියට ගෙන යාමට එරට වෘත්තීය සමිති විසින් සූදානම්ව සිටී. ඒ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ඉදිරිපත් කර ඇති අධිකරණ ප්‍රතිසංස්කරණ යෝජනාවන්ට එරෙහිවය.

ඒ සමඟම අගමැතිවරයා විසින් තම ආරක්ෂක අමාත්‍යවරයා තනතුරෙන් නෙරපා හැරීමද එයට හේතු වී තිබිණි.

ඊශ්‍රායල ඉතිහාසයේ දැවැන්තම දේශීය විරෝධතා ව්‍යාපාරය මේ ආකාරයෙන් ගොඩනැඟුණේ බෙන්ජමින් නෙතන්යාහු ගෙන එන අධිකරණ ප්‍රතිසංස්කරණ යෝජනාවන්ට එරෙහිවය. ඔහුගේ මෙම යෝජනාවන්ට විරුද්ධ වෘත්තීය සමිති මෙන්ම සිවිල් සංවිධාන පවසන්නේ මෙම ක්‍රියාපිළිවෙත හේතුවෙන් ආණ්ඩුවට කිසිදු අභියෝගයකින් තොරව පාලනය ගෙන යා හැකි ක්‍රමවේදයක් නිර්මාණය කරන බවයි. එහෙත් අගමැතිවරයා ප්‍රකාශ කරනු ලබන්නේ මෙම ප්‍රතිසංස්කරණ ගෙන ඒමෙන් බලාපොරොත්තු වන්නේ අධිකරණ සිය බලතල ඉක්මවා යාම වළක්වන බවයි. කෙසේ වෙතත් මේ සියලු කාරණා මැද පසුගිය ඉරිදා දහස් ගණන් ජනයා වීදි බැස තම විරුද්ධතාවයන් ප්‍රකාශ කරමින් උද්ඝෝෂණය කරන්නට වූහ. අගමැතිවරයා ජීවත්ව සිටින ජෙරු‍ෙසලමේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටට රැස් වූ විරෝධතාකරුවන් මෙම යෝජනා හකුළා ගන්නා ලෙස බලකරමින් ඊශ්‍රායල ජාතික කොඩි ඔසවාගෙන උද්ඝෝෂණය කරන්නට වූහ. ඉන්පසු විරෝධතාකරුවන් ඊශ්‍රායල පාර්ලිමේන්තුව ඉදිරිපිටට ඒකරාශි වූයේ පොලිස් ආරක්ෂාවන් පවා මගහරවමිනි.

මෙම විරෝධතාව කවරාකාරයෙන් උණුසුම් වීද යත් කොඩි අතදරා උන් උද්ඝෝෂකයන් Tel-Aviv හි ප්‍රධාන මාර්ගයක් අවහිර කරන්නට ද සමත් විය.

වර්ධනය වෙමින් පවතින උද්ඝෝෂණ රැල්ල විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ලකොට ඔවුන් විසුරුවා හරිනු ලැබීය. එහෙත් මෙම විරෝධතාව හා සමගාමීව එරට ප්‍රධානතම වරායන් දෙකෙහිම වැඩකටයුතු අඩාළව තිබූ අතර, Tel-Aviv, Ben gurion ගුවන්තොටුපළේ විගමන අංශයේ කටයුතුද අත්හිටුවා තිබිණි.

ආරක්ෂක අමාත්‍යවරයා ඉවත් කිරීම

ඊශ්‍රායල ආරක්ෂක ඇමැතිවරයා ලෙසින් කටයුතු කරනු ලැබ සිටියේ එරට හිටපු හමුදා නිලධාරියකු වන Yoav Gallant ය. ඔහු විසින් නෙතන්යාහු ගෙන ආ අධිකරණ ප්‍රතිසංස්කරණ යෝජනාවන්ට විරුද්ධව තම අදහස් ප්‍රකාශ කළ අතර, ඔහු විසින් ප්‍රකාශ කර සිටියේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා සාමාජිකයන් කෝපයට මෙන්ම කලකිරීමට පත්ව සිටිනා බවයි. ඔහු රූපවාහිනි නාලිකාවක් ඔස්සේ තම අදහස් ප්‍රකාශ කරන විට අගමැතිවරයා සිටියේ විදේශ සංචාරයකට සහභාගි වෙමිනි. ආරක්ෂක ඇමැතිවරයාගේ ප්‍රකාශය පිළිබඳව අගමැතිවරයා පවසා සිටියේ Yoav Gallant පිළිබඳව තවදුරටත් ඔහුගේ කිසිදු විශ්වාසයක් නොමැති බවය. කෙසේ වෙතත් ඇමැතිවරයාගේ මේ ප්‍රකාශය නිසා ඔහුට සිදු වූයේ පසුදිනම තම ඇමැති ධුරය අහිමි කර ගැනීමටය.

මූලිකවම මහජන විරෝධතාවය මතුව ආවේ ප්‍රතිසංස්කරණ යෝජනාවන්ට විරුද්ධව වුවත් පසුව එය ඇමැතිවරයා නෙරපා හැරීමට විරුද්ධව ද මතුව පැමිණියහ. ඇමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව හිටපු ආරක්ෂක ඇමැතිවරයා ට්විටර් පණිවිඩුයක් ඔස්සේ සඳහන් කර තිබුණේ ඊශ්‍රායල රාජ්‍යයේ ආරක්ෂාව ඔහුගේ ජීවන මෙහෙවර බවයි. ඇමැතිවරයාගේ ඉවත් කිරීම සම්බන්ධයෙන් මහජන විරෝධය මතුව පැමිණියා සේම එරට විපක්ෂයෙන් පැමිණියේ ද යහපත් ප්‍රතිචාර නොවේ. විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියේ කවර දිනකවත් නොවැටුණු තරමේ පහත් තත්ත්වයකට නෙතන්යාහු අගමැතිවරයා පත්ව සිටින බවය. එමෙන්ම ආරක්ෂක ඇමැතිවරයා ඉවත් කිරීමට අගමැතිවරයාට බලය තිබුණද ඔහුට එරෙහිව මතුව එන මහජන විරෝධය හේතුවෙන් එරට මහජනයා ඊශ්‍රායලයෙන් ඉවත් කිරීමට නොහැකි බව ඔහු ප්‍රකාශ කළේය. ප්‍රතිසංස්කරණ යෝජනා තරමටම ඇමැතිවරයා ඉවත් කිරීම කරළියට පැමිණි මාතෘකාවක් විය. ඊශ්‍රායලයේ හිටපු අගමැතිවරයකු වූ Naftali Bennett ප්‍රකාශ කරන්නේ 1973 යුද්ධයෙන් පසු නැවතත් ඊශ්‍රායලය භයානක තත්ත්වයට පත්ව ඇති බවත් Yoav Gallant නැවතත් ආරක්ෂක අමාත්‍ය ධුරයේ පිහිටු විය යුතු බවත්ය.

මෙම මහජන විරෝධී පෙළගැස්මත් සමඟ එරට Histadrut කම්කරු සංගමය විසින් ප්‍රතිසංස්කරණ යෝජනා ඉවත් කර ගැනීමට බලකරමින් මහා වැඩවර්ජනයක් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු යොදන ලදි. එමෙන්ම මාර්තු මස මුලදී සිදු වූ විශේෂිතම පෙරළිය වූයේ ගුවන් හමුදා බළගණයක ප්‍රහාරක ගුවන් නියමුවන් තම පුහුණු කටයුතු සඳහා නොයෑමට තීරණය කිරීමය. එහෙත් පසුව එය සාකච්ඡා මාර්ගයකින් විසඳිණි.

නෙතන්යාහු ගෙන ඒමට සැරසෙන අධිකරණ ප්‍රතිසංස්කරණ යෝජනා මඟින් විනිසුරුවන්ගෙන් බහුතරයක් පත් කිරීමේ බලය දේශපාලනඥයන්ට අවශ්‍ය පරිදි හැඩගැසේ. මෙම වෙනස්කම් සිදු කිරීම සඳහා මූලිකත්වය දෙනු ලබන්නේ නෙතන්යාහුගේ අධිකරණ ඇමැතිවරයා සහ නීතිය හා යුක්තිය කමිටුවේ ප්‍රධානී MK Simcha Rothman විසිනි.

විරෝධතාකරුවන්ගේ මතය

විදෙස් පුවත් සේවාවන් සඳහන් කරන්නේ ඔවුන් දෙදෙනාටම ඊශ්‍රායල ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් දිගුකාලීන වෛරයක් ඇති බවයි. මෙම ප්‍රතිසංස්කරණ යෝජනා ගෙන ඒමත් සමඟ එකවරම ඉහළ ආ මාතෘකාවක් වන්නේ නෙතන්යාහුට විරුද්ධව පවතින දූෂණ නඩු විභාගයයි. 2021 වසරේ සිට සාක්ෂිකරුවන්ගේ සාක්ෂි විමසීම ආරම්භ කළදා සිට අගමැතිවරයා නඩු තුනක් සම්බන්ධයෙන් අල්ලස්, වංචා මෙන්ම විශ්වාසය කඩකිරීමේ චෝදනාවන්ට මුහුණ දී සිටී. මේ නිසා බහුතරයක් දෙනා මතුකළ ප්‍රශ්නය වූයේ නෙතන්යාහුට ඔහුගේ දූෂණ නඩු විභාගයේදී නඩු පැවරීමෙන් වැළකී සිටීමට මෙම පියවර උපකාරී විය හැකි ද යන්නය.

ඊශ්‍රායල මැතිවරණය දෙවන වරටත් ජයග්‍රහණය කළ බෙන්ජමින් නෙතන්යාහු අධිකරණ ප්‍රතිසංස්කරණ යෝජනාවක් ගෙන ආවේ තම ධුර කාලය අවසන් කර දැමීමට ඉඩ ඇති අධිකරණ තීන්දුවකින් ආරක්ෂා වීම සඳහාය යන්න මහමඟට බැස සිටින විරෝධතාකරුවන්ගේ මතයයි. බෙන්ජමින් නෙතන්යාහු ගෙන එන මෙම යෝජනා මඟින් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් සහිත ඊශ්‍රායලයේ නීතියේ ආධිපත්‍ය ඛාදනය වනු ඇතැයි යන්න බොහෝ දෙනාගේ අදහසයි. එමෙන්ම අධිකරණය සඳහා කෙරෙමින් පවතින සැලසුම් මේ ආකාරයෙන් ඉදිරියට ගලා ගියහොත් ඊශ්‍රායලය පෙර නොවූ විරූ ආකාරයේ ව්‍යවස්ථාමය අර්බුදයකට මුහුණ දෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණකි.

නෙතන්යාහුගේ දේශපාලනයේ අවසානයද?

ඊශ්‍රායල ජනාධිපති Isaac Herzog විසින් මතභේදයට බඳුන්ව පවතින අධිකරණ යෝජනා ප්‍රතිසංස්කරණය නවතා දමන්නැයි පසුගිය සඳුදා අගමැති නෙතන්යාහුගෙන් ඉල්ලා සිටියේය. ඔහු පවසා සිටියේ ඊශ්‍රායල ජනතාවගේ එකමුතු බවේ නාමයෙන් මෙය ක්‍රියාවට නැංවීම අත්හිටුවා දමන ලෙසයි. එමෙන්ම ඊශ්‍රායල රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශකයකු පවසා සිටින්නේ අධිකරණ ප්‍රතිසංස්කරණවලට එරෙහිව එක්රොක් වී සිටින ජනතාවගේ කෝපය නෙතන්යාහුගේ අවසානයේ ආරම්භය විය හැකි බවයි.

කෙසේ වෙතත් 2019 වසරේ සිට මැතිවරණ පහකින් පසු පක්ෂ දෙකම පැහැදිලි බහුතරයක් දිනාගැන්මට අපොහොසත් විය. එහෙත් පසුගිය නොවැම්බරයේදී පැවති මැතිවරණයෙන් නෙතන්යාහුගේ පක්ෂය පැහැදිලි බහුතරයක් දිනාගැන්මට සමත් විය. ඒ සමඟම ඊශ්‍රායල ඉතිහාසයේ වඩාත්ම දක්ෂිණාංශික ආණ්ඩුව පිහිටුවා ගැන්මට නෙතන්යාහු කටයුතු කළේය. එය කෙසේ වෙතත් මේ වන විට වසරේ ආරම්භයේ සිටම ඊශ්‍රායලයේ දහස් ගණන් ජනයා එක්රැස්වන විරෝධතාවයන් පැවැත්වෙන්නේ කවර හෝ නායකත්වයකින් තොරවය. මේ වන විට එය වඩාත් ප්‍රබල තත්ත්වයකට පත්ව ඇති අතර, උද්ඝෝෂකයන් විශාල පිරිසක් අත්අඩංගුවට ද පත්ව හමාරය. මේ වන විට ඊශ්‍රායලය ගමන් කරන දිශාව පිළිබඳව ද මිත්‍ර රටවල් ගණනාවක් ද අනතුරු ඇඟවීම් කර තිබීම විශේෂිතය. දසතින් නැඟෙන විරෝධතාවයන් ඉදිරියේ ප්‍රතිසංස්කරණ යෝජනාවන් හකුළා ගැනීමට නෙතන්යාහු සූදානම් නැති වුවද ප්‍රතිසංස්කරණ යෝජනා ප්‍රමාද කිරීමට ඔහු තීරණය කර තිබිණි. කවරක් වුවද එය කවදා වනතුරුද යන්න පිළිබඳව කාලසීමාවක් සඳහන් නොවේ. එය එසේ සඳහන් නොවුවද මේ මොහොතේ උද්ඝෝෂකයන් සතුව පවතින කෝපය නෙතන්යාහුගේ දේශපාලන ජීවිතයේ අවසානයේ ආරම්භය වන්නට ද පුළුවන.

රජිත බස්නායක

336 x 200 Sinhala

Business News

පලතුරු මිල පහළට.....

අප්‍රේල් 06 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website