ඉරිදා, 21 මැයි 2023 11:45

බිලියන 50ක මුදල් වංචාවට හසු වූ ඉම්රාන්ගේ බිරිය Featured

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ බිරිය බුෂ්රා බීබී දැන් සිටින්නේ ඇප පිටය. දූෂිත අගමැතිවරු සම්බන්ධව වැඩි ප්‍රසිද්ධියක් උසුලන පාකිස්තානයේ ජනතාව හිටපු ක්‍රිකට් නායක ඉම්රාන්ගේ අවංකත්වය මත තැබූ විශ්වාසය බුෂ්රා බීබී මුළුමනින්ම බිඳ දමා ඇතැයි පසුගියදා අධිකරණයෙන් පිටත රැස් වූ ඉම්රාන් විරෝධී පාර්ශ්ව රැසක් විසින් චෝදනා එල්ල කර තිබේ.

ඉම්රාන්ගේ තුන්වැනි බිරිය ලෙස ඔහු සමඟ 2018දී අතිනත ගත් 58 හැවිරිදි බුෂ්රා ඊට පෙර විවාහ වී සිටියේ බෙනාසිර් භූතෝගේ කැබිනට් මණ්ඩලයේ හිටපු ඇමැතිවරයකුගේ පුත්‍රයකු සමඟය. ඉම්රාන් සමඟ විවාහ වන විටත් දියණියන් තිදෙනකුගේ සහ පුතුන් දෙදෙනකුගේ මවක් වූ බුෂ්රා රූපය අතින් තවමත් බොලිවුඩ් නිලියකට සමාන බව ඇගේ සමිපතමයෝ පවසති.

සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කරමින් දැඩි ඉස්ලාම් ආගමික ප්‍රතිපත්තියක් රකින කාන්තාවක් ලෙස කාලයක් ප්‍රචලිතව සිටි බුෂ්රා ඊයේ පෙරේදා ලාහෝර් මහාධිකරණයෙන් ඇප ලැබුවේ රුපියල් කෝටි ගණනාවක වංචා චෝදනාවකටය. එය ඉතා බරපතළ චෝදනාවක් බවට පිළිගැනේ. එබැවින් ආගමික ප්‍රතිපත්තියක් පෙන්වමින් මුදල් වංචා කළ කාන්තාවක් ලෙස ඉම්රාන්ගේ බිරිය මේ වන විට පාකිස්තානය තුළ දැඩි ආගමික කැළඹීමක් ද ඇති කර ඇතැයි වාර්තා වේ.

බුෂ්රා සමඟම ඉම්රාන්ට ද මේ චෝදනාව එල්ල වී ඇති අතර, ඔහු අගමැති ධුරයේ සිටියදී අල් කදීර් නමැති රාජ්‍ය නොවන සුභසාධන සංවිධානයක භාරකාර මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සැමියා හා බිරිය දෙදෙනාම කටයුතු කර තිබිණි. මූල්‍ය චෝදනාව වන්නේ දේපළ වෙළෙඳාමේ නිරතව සිටින ප්‍රබල ව්‍යාපාරිකයකුගෙන් එම සංවිධානය හරහා ඩොලර් මිලියන ගණනාවක් වටින දේපළක් ලබාගත් බවය. එහි වටිනාකම පාකිස්තාන රුපියල් බිලියන 50කටත් වැඩි බවත් වාර්තා වේ.

පාකිස්තානයේ දේශපාලනයේ පවතින මූල්‍ය දූෂණ තුරන් කිරීමේ පොරොන්දුව මත බලයට පැමිණි ඉම්රාන් සිය බිරියගේ අවශ්‍යතාවට මෙවැනි වංචාවක් සිදු කර ඇතැයි ද ඇතැමුන් චෝදනා කරති. කෙසේ වුවත් අගමැති ධුරයේ සිටියදී විදෙස් රාජ්‍ය නායකයන්ගෙන් හා තානාපතිවරුන්ගෙන් ලැබුණු ත්‍යාග භාණ්ඩාගාරයට ලබා දීම මඟ හැර ඒවා තමා සන්තකයේ තබා ගැනීමට සහ සමීපතම මිතුරන්ට අලෙවි කිරීම නිසා ඉම්රාන්ට ද චෝදනා රැසක් එල්ල වී තිබිණි. ඔහු පසුගියදා ආන්දෝලනාත්මක ලෙස අත්අඩංගුවට පත් වූයේ මේ චෝදනා දෙකටමය.

අදාළ චෝදනා සම්බන්ධ නඩු විභාගයට ඉම්රාන් පැමිණියේ නැත. බිරිය බුෂ්රා ද අධිකරණය මඟ හැරීමට කටයුතු කර තිබිණි. ඇය අත්අඩංගුවට පත්වීමේ අවදානම මතුවූයේ එවැනි පසුබිමකදීය.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website