ඉරිදා, 21 මැයි 2023 20:27

පවුම් දහස් ගණනකට පීතෘත්වය සංක්‍රමණික කාන්තාවන්ට විකුණන බ්‍රිතාන්‍යයේ පිරිමි Featured

සංක්‍රමණික කාන්තාවන්ගේ දරුවන් වෙනුවෙන් පියවරුන් ලෙස පෙනී සිටීමට බ්‍රිතාන්‍ය පිරිමින් පවුම් දහස් ගණනක් අය කරන බව බීබීසීය කළ විමර්ශනයකින් හෙළි වී තිබේ.

උප්පැන්න සහතික සඳහා ඔවුන්ගේ නම් ඇතුළත් කිරීමට ඩොලර් 12,525ක් (£10,000) දක්වා මුදලක් ගෙවනු ලබන අතර එමගින්, දරුවෙකුට එක්සත් රාජධානියේ පුරවැසිභාවය ලබා ගැනීමට අවස්ථාව මෙන් ම මව්වරුන්ට පදිංචිය සඳහා අවස්ථාව උදා කර ගැනීමට මග පෑදෙනු ඇත.

මෙම වංචාකරුවෝ සිය ව්‍යාපාරික කටයුතු සඳහා තැරැව් කටයුතු කිරීමට ෆේස්බුක් භාවිත කරන අතර මේ ආකාරයෙන් කාන්තාවන් දහස් ගණනකට උදව් කර ඇති බව පවසති.

ෆේස්බුක් පවසන්නේ එවැනි අන්තර්ගතයන් එහි නීති මගින් තහනම් කර ඇති බව ය.

එක්සත් රාජධානිය පුරා විවිධ ප්‍රජාවන් තුළ මෙම වංචාව සිදුවන බව බීබීසී නිව්ස්නයිට් කරන ලද විමර්ශනයෙන් හෙළි විය.

ව්‍යාජ පියවරුන් ලෙස පෙනී සිටීම සදහා බ්‍රිතාන්‍ය පිරිමින් සොයා යන, එක්සත් රාජධානිය පුරා විසිරී සිටින නියෝජිතයින් පිළිබඳව එමගින් අනාවරණය කර ගත්තේ ය.

එක් පර්යේෂිකාවක උපාය දූතිකාවක ලෙස , එක්සත් රාජධානියේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින ගර්භණී කාන්තාවක ලෙස පෙනී සිටිමින් මෙම සේවා සපයන පුද්ගලයින් සම්බන්ධ කර ගත්තා ය.

තායි නමැති එක් නියෝජිතයෙකු ඇයට පැවසුවේ, තමාට ව්‍යාජ පියවරුන් ලෙස පෙනී සිටිය හැකි බ්‍රිතාන්‍ය පිරිමින් කිහිප දෙනෙකු සිටින බව ත් පවුම් 11,000කට "සම්පූර්ණ පැකේජයක්" ලබා දිය හැකි බව ත් ය.

jykhb නිව්ස්නයිට් හි රහසිගත පර්යේෂිකාවකගේ තැරැව්කරුවකු ලෙස කටයුතු කිරීමට "තායි" ඉදිරිපත් විය

ඔහු මෙම ක්‍රියාවලිය "ඉතා පහසු" ක්‍රියාවලියක් ලෙස විස්තර කළ අතර දරුවාට එක්සත් රාජධානියේ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට "සියල්ල කර දෙන" බව පැවසීය.

ෆේස්බුක්හි දැන්වීම් පළ නොකළ තායි, බලධාරීන් සාර්ථකව මුලා කිරීම සඳහා, තමන් පවසන්නේ සත්‍යයක් යැයි ඒත්තු ගැන්විය හැකි පසුබිම් කතාවක් සකස් කරන බව පැවසීය.

තමන්ට පියා ලෙස පෙනී සිටිය හැකි බව පැවසූ ඇන්ඩෲ නමැති බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට ඔහු රහසිගත පර්යේෂිකාව හඳුන්වා දුන්නේ ය. ඇන්ඩෲට මුළු ගාස්තුවෙන් පවුම් 8,000ක් ගෙවනු ඇත.

ඔවුන්ගේ හමුව අතරතුර ඇන්ඩෲ තමන් එක්සත් රාජධානියේ පුරවැසියෙකු බව ඔප්පු කිරීම සඳහා සිය විදේශ ගමන් බලපත්‍රය පෙන්වී ය. ඔහු පර්යේෂිකාව සමග සෙල්ෆි ඡායාරූප ද ගනු ලැබීය.

jykgvඇන්ඩෘ සමඟ සිටින නිව්ස්නයිට් පර්යේෂිකාවගේ මුහුණ බොඳ කර ඇත.

ව්‍යාජ පියෙකු ලෙස පෙනී සිටීමේ සේවය ලබා දෙන කිසිදු නියෝජිතයෙකුට බීබීසීය කිසිදු මුදල් ගෙවීමක් නොකළේ ය.

පසුව තායිගෙන් මෙම ජාවාරමට සම්බන්ධ වීම පිළිබඳව ප්‍රශ්න කළ විට තමන් වරදක් කළ ඔහු බව ප්‍රතික්ෂේප කළ අතර ඔහු පැවසුවේ තමන් "ඒ ගැන කිසිවක් නොදන්නා" බව ය.

අදහස් දක්වන ලෙස අප කළ ඉල්ලීමට ඇන්ඩෲ ප්‍රතිචාර දක්වා නැත.

තමන් තී කිම් ලෙස හඳුන්වනු ලැබූ තව ත් නියෝජිතවරියක කියා සිටියේ, ඇය ගර්භණී සංක්‍රමණික කාන්තාවන් දහස් ගණනකට උදව් කළ බව ය.

ඇය පැවසුවේ තමන්ට බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සැපයිය හැකි අතර ඒ සඳහා "පියෙකුට දස දහසක්" වැය වන බව ත් ඇයගේ ගාස්තුව පවුම් 300ක් බව ත් ය.

"මම මේ වැඩේට ගන්න හැම පිරිමියෙක් ම මෙහෙ ඉපදුණු අය. ඒ අය මීට කලින් කිසි ම දවසක දරුවෙක්ගේ උප්පැන්නයකට නම් දීලා නෑ," තී කිම් පර්යේෂකාවට පැවසුවා ය.

"මම මේ හැම දෙයක් ම බලා ගන්න විධිය දන්නවා. පාස්පෝට් එකක් නෑ කියලා ඔයා කරදර වෙන්න ඕනේ නෑ. ඒක අනිවාර්යයෙන් ම ලැබෙනවා."

අදහස් දැක්වීම සඳහා බීබීසීය කළ ඉල්ලීමට තී කිම් ප්‍රතිචාර දක්වා නොමැත.

jpgතී කිම්, බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සමඟ එකඟතාවක් ඇති කර දීමට ඉදිරිපත් වූ නියෝජිතවරියකි.

ව්‍යාජ පියෙකු ලෙස පෙනී සිටීමේ වංචාව "ඇදහිය නොහැකි තරම් සංකීර්ණ" දෙයක් ලෙස ආගමන නීති නීතිඥ ඇනා ගොන්සාලෙස් විස්තර කරයි.

"ඒක හරි ම සංකීර්ණ යි, පොලිසියට ඇදහිය නොහැකි තරම් දුෂ්කර යි," ඇය පවසයි. "ඒක එක් ආකාරයකින්, මේ කාන්තාවන් කෙතරම් මංමුලාසහගත ද යන්න සහ එක්සත් රාජධානියේ රැඳී සිටීමේ තමන්ගේ අයිතිය සුරක්ෂිත කරගන්න ඕනෑ ම දෙයක් කරනවා කියන එක පෙන්නන සාක්ෂියක්."

සංක්‍රමණික කාන්තාවක් නීතිවිරෝධී ලෙස එක්සත් රාජධානියේ රැඳී සිටිනවා නම් සහ බ්‍රිතාන්‍ය පුරවැසියෙකුට දාව හෝ කාල සීමාවක් නොමැතිව රට තුළ රැඳී සිටීමට අවසර ඇති පිරිමියෙකුට දාව දරුවා බිහි කළහොත්, එම දරුවා නිරායාසයෙන් ම උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බවට පත් වේ.

ඉන් පසුව මවට 'ෆැමිලි වීසා' බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ හැකි අතර, එමගින් ඇයට එක්සත් රාජධානියේ රැඳී සිටීමට අයිතිය හිමි වනු ඇත. එමෙන් ම අනාගතයේ යම් කාලයකදී පුරවැසිභාවය සඳහා අයැදුම් කිරීමට ද අවස්ථාව සැලසේ.

"මෙම නීතිය තියෙන්නේ ළමුන් ආරක්ෂා කිරීම සඳහා මිසක් එක්සත් රාජධානියේ රැඳෙන්න නෛතික අයිතියක් නැති කාන්තාවන්ට වීසා දෙන්න නෙවෙයි," ගොන්සාලෙස් පවසයි. "ඒක නීතියේ තියෙන හිඩැසක් නෙවෙයි. ඒ ගැන එහෙම දකින එක නොකළ යුත්තක්."

තමන් විසින් විමර්ශනය කරන ලද මෙවැනි සිදුවීම් සංඛ්‍යාව පිළිබඳ දත්ත සැපයීමට ස්වදේශ කටයුතු කාර්යාලයට නොහැකි වූ බැවින්, බීබීසීයට වංචාවේ පරිමාණය තක්සේරු කර ගැනීමට නොහැකි විය.

එම කාර්යාලය බ්‍රිතාන්‍ය දරුවන්ගේ එක්සත් රාජධානියේ නොවන දෙමාපියන් සඳහා ලබා දී ඇති වීසා සංඛ්‍යාව පිළිබඳ දත්ත ද ප්‍රකාශයට පත් නොකරයි.

'එක පාරක් නොවෙයි'
කෙසේ වෙත ත්, පසුගිය වසරේ "අනෙකුත් යැපෙන්නන් (other dependents)" සඳහා 'ෆැමිලි වීසා' 4,860ක් නිකුත් කර ඇත. එය බ්‍රිතාන්‍ය දරුවන්ගේ දෙමාපියන් ලෙස එක්සත් රාජධානියේ රැඳී සිටීම සඳහා අයැදුම් කරන පුද්ගලයින් ඇතුළත් වන කාණ්ඩයකි.

උප්පැන්න සහතිකයක හිතාමතා ම වැරදි තොරතුරු ඇතුළත් කිරීම සාපරාධී වරදකි.

ව්‍යාජ උප්පැන්න සහතික භාවිත කරමින් සිදුවන සංක්‍රමණික වංචා වැළැක්වීමට සහ ඒවා අනාවරණය කර ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු කාර්යාලය බීබීසීය වෙත පවසා තිබේ.

එම කාර්යාලය පවසන්නේ, "උප්පැන්න සහතිකයක් පමණක් පීතෘත්වය සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂියක් නොවිය හැකි" බව ත්, මෙය තහවුරු කිරීමට අවශ්‍ය වූ විට, "අප සිදු කරන සොයා බැලීම් සෑහීමකට පත්වන ලෙස සම්පූර්ණ කිරීමට හැකි වන පරිදි අමතර සාක්ෂි ඉල්ලා සිටිය හැකි බව ත්" ය.

කෙසේ වෙතත්, ආගමන නීතිඥ හර්ජාප් භංගල්, ප්‍රමාණවත් ක්‍රියාමාර්ගයක් ගනු ලබන්නේ ද යන්න පිළිබඳව වාද කරයි: "ඒක පාරක් නෙවෙයි. ඒක දහස් වාරයක් වෙන්න පුළුවන්... ස්වදේශ කටයුතු කාර්යාලය මේ ගැන හරියට අවධානය යොමු කරලා නෑ."

ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, නයිජීරියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු විවිධ සංක්‍රමණික ප්‍රජාවන් තුළ මෙම පුරුද්ද පවතින බව ත් එය වසර ගණනාවක් තිස්සේ සිදුවෙමින් පවතින බව ත් ඔහු පවසයි.

නිව්ස්නයිට්හි විමර්ශනයෙන් හෙළි වූයේ මෙම නීතිවිරෝධී ක්‍රමය රැකියා සොයන්නන් සඳහා වන ඇතැම් වියට්නාම ෆේස්බුක් සමූහ තුළ පුළුල් ලෙස ප්‍රචාරය කරන බව ය.


DM [Direct Message] කරන්නැයි කාන්තාවන්ගෙන් ඉල්ලයි

බ්‍රිතාන්‍ය පිරිමි පුද්ගලයින් පියෙකු ලෙස පෙනී සිටීමට සොයන කාන්තාවන් මෙන් ම තමන් ව්‍යාජ පියෙකු ලෙස පෙනී සිටීමට සුදුසු පුද්ගලයින් යැයි තම සුදුසුකම් ගැන පුරසාරම් දොඩන පෝස්ට් දුසිම් ගණනක් ගිණුම්වලින් අපට හමු විය.

එක් ගිණුමක මෙලෙස සඳහන් කර තිබිණි: "මම මාස 4ක ගැබිනියක්. මට වයස අවුරුදු 25-45 අතර 'citizenship daddy' කෙනෙක් අවශ්‍ය යි."

තව ත් එකක මෙලෙස සඳහන් විය. "මම red book එක තියෙන පියෙක්[එක්සත් රාජධානියේ විදේශ ගමන් බලපත්‍රයක් සඳහා වියට්නාමයේ ග්‍රාම්‍ය භාෂාවෙන් භාවිත කරන යෙදුමක්]. ඔබ ගැබ්ගෙන පියෙකු නොමැති කෙනෙක් නම්, මට DM [Direct Message] කරන්න."

ෆේස්බුක් හිමිකරු වන මෙටා සමාගම පවසන්නේ "ෆෙස්බුක්හි දරුකමට හදාගැනීම සඳහා වන ඉල්ලීම්වලට හෝ උප්පැන්න සහතික වංචාවට" ඉඩ නොදෙන බව ය. තම ප්‍රතිපත්ති උල්ලංඝණය කරන අන්තර්ගතයන් ඉවත් කිරීම අඛණ්ඩව සිදු කරන බව එම සමාගම පවසයි.

jykygෆේස්බුක් පවසන්නේ මෙම ව්‍යාජ පියවරුන්ගේ වංචාව සිය ප්‍රතිපත්ති කඩ කරන බවයි

තම දරුවාගේ පියා ලෙස පෙනී සිටීම සඳහා පිරිමියෙකුට පවුම් 9,000ක් ගෙවූ බව අප වෙත පැවසූ එක් කාන්තාවක සමග අපි කතා කළෙමු.

ඇය පැවසුවේ: "එයා මට වඩා අවුරුදු 30ක් වැඩිමල්. මට ආරංචි වුණා එයා මීට කලින් වෙන කාන්තාවක් එක්ක ත් එහෙම කරලා තියෙනවා කියලා."

අදාළ කාන්තාව පැවසුවේ තමාට එම පුද්ගලයා සමග එතරම් සම්බන්ධයක් නොතිබූ බව ය. උප්පැන්න සහතිකය ලියාපදිංචිය සඳහා රෙජිස්ට්‍රාර් කාර්යාලයට ගිය අවස්ථාව ද ඇතුළුව මෙම යුවළ හමුවී තිබුණේ තුන් වතාවක් පමණි.

තවත් කාන්තාවක අපට පැවසුවේ පියෙකු ලෙස පෙනී සිටීමට පිරිමියෙකුට පවුම් 10,000ක් ගෙවා ඇති බව ය. කෙසේ වෙතත් ඔහු ඔහුගේ සංක්‍රමණික තත්ත්වය ගැන ප්‍රකාශ කර ඇත්තේ, අසත්‍යක් බව ඇය පසුව දැන ගෙන ඇත.

"මගේ දරුවගේ උප්පැන්න සහතිකය අරගෙන දවසකට පස්සේ තමයි මම දැනගත්තේ එයාට ඇත්තට ම පුරවැසිභාවය නෑ කියලා. මට පිස්සු හැදුණා, මොකද මම ඒ වෙද්දි ත් උප්පැන්න සහතිකේට එයාගේ විස්තර දාලා තිබුණා. මට ඒක වෙනස් කර ගන්න බැරි වුණා."

මෙම කාන්තාවට දැන් තම දරුවාගේ ලියාපදිංචි පියා ලෙස ආගන්තුකයෙකු සිටින අතර ඇයට සහ ඇගේ දරුවාට තවමත් එක්සත් රාජධානියේ රැඳී සිටීමට අවසර නොමැත.

හර්ජාප් භංගල් පවසන්නේ, ස්වදේශ කටයුතු කාර්යාලය එවැනි ව්‍යාජ වීසා අයැදුම්පත් සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බව ය.

"දරුවෙක් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් කියලා කියනවා නම් සහ ඒ දරුවාගේ අම්මා හෝ තාත්තාගෙන් එක් කෙනෙකු ත් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් සහ අනෙක් කෙනාට වීසා නෑ කියලා කියනවා නම්, සරලව DNA ටෙස්ට් එකක් කරන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන් හොඳ ම අවස්ථාවක් ඒක."

එක්සත් රාජධානියේ උපතක් ලියාපදිංචි කිරීමේදී හෝ දරුවෙකුගේ බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රය සඳහා අයැදුම් කිරීමේදී DNA පරීක්ෂණයක් කිරීම අවශ්‍ය නොවේ.

මෙම අපරාධය සම්බන්ධ බොහෝ දෙනෙකුට එරෙහිව නීතියම ක්‍රියාමාර්ග ගනු ඇතැයි භංගල් නොසිතයි.

"ඒ නිසා තමයි මිනිස්සු ඒක කරන්නේ - මොකද එයාලට ප්‍රතිවිපාක ගැන බයක් නැති නිසා."

 

BBC

336 x 200 Sinhala

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website